ගැහැණියක් නොකියපු කතාවක් කෙටි කතාව
...........................................................
අපේ හනිමුන් එක දවසේ රෑ තමයි එයා ඉස්සෙල්ලාම මේ කතාව මට කිව්වේ. ඒ වෙලාවේ අඩ අඳුරට උනත් එයාගේ ඇස් දිලිසෙනවා මම දැක්කා.
"අපේ පවුලේ කාටවත් ගැහැණු දරුවෙක් ලැබිලා නෑ."
"ඉතින්."
"ඔයාට පුළුවන්ද මට දුවක් ගෙනත් දෙන්න".
"ඔයා එච්චරම දුවලට ආසයිද?"
"දුවලා කවදාවත් දෙමව්පියන් දාලා යන්නේ නෑලු."
"එහෙනම් අපි ජයශ්‍රී මහා බෝ හාමුදුරුවන්ට බාරයක් වෙමු."
"එහෙම කලොත් අපිට දුවක් ලැබෙයිද?"
"අපි බාර වෙලා බලමු මහත්තයෝ."
අපි කසාඳ බැඳලා ටික දවසකින් එයා ලස්සන චුටි කෙලි පැටව්ගේ පින්තූර කාමරයේ එල්ලන්න පටන් ගත්තා. මම ඇහුවා ඇයි ඔයා මේ බිත්ති වල මෙහෙම පින්තූර ගහන්නේ කියලා. එයා එදා කිව්වේ මේ පින්තූර වල ඉන්න ලස්සන කෙලි පැටියෙක් ඔයාගේ කුසේ පිළිසිඳ ගන්න ඉක්මන් කරගන්නලු එහෙම කලේ කියලා.
බිත්ති පුරා චුටි පැටවුන් හිනාවෙලා ඉන්නවා දැක්කාම මුලු ගෙදරම සිරියාවන්තයි කියලා මට හිතුනා. එයාට ලොකු විශ්වාසයක් තිබුනා මට ඉස්සෙල්ලාම දුවක් ලැබෙයිම කියලා.
කසාඳ බැඳපු දවසේ ඉදන් එයා ලස්සන ලස්සන චුටි ගවුම් ගෙදරට ගේන්න පටන් ගත්තා.
එතකොට දරු පැටියෙක් මගේ බඩට ඇවිල්ලත් නෑ. ඒත් එයා ගවුම් කෑලි ගේන එක නතර කලේ නෑ. එයා ගෙනාපු චුටි චුටි ගවුම් කෑලි වලින් අපේ ගෙදර අල්මාරි පිරුනා. එයා කිව්වේ දුව ලැබුනාම මේ ගවුම් එයාට අන්දවමු කියලා.
මගේ කුසට දරුවෙක් එනකන් මම කල් තියාම ලෑස්ති උනා. හම්බ වෙන පැටියට සබන් කැටේ ඉදන් මදුරු දැල දක්වා අපි ගෙනල්ලයි තිබුනේ. ටික ටික කාලය ගෙවිලා ගියා. ඒත් අපිට තවමත් දරුවෙක් නෑ. අපේ බලාපොරොත්තු සිහින ටික ටික අපෙන් ඈත් වෙනවා වගේ මට දැනුනා. මේ ප්‍රශ්නය නිසා එයා හිටියේ ගොඩක් සිත් වේදනාවකින් කියලා මට තේරුනා. එයා හැම වෙලාවෙම කිව්වේ ඇයි හැම දේම තිබිලත් අපිට තවමත් දරුවෙක් නැත්තේ කියලා.
මේ ප්‍රශ්නය නිසා මම සිතින් අප්‍රමාණ දුක් විදපු ගැහැණියක්. ඒ වේදනාව මට වචන වලින් කියන්න අමාරුයි.මට දැනූන වේදනාව මේ ලෝකයේ දරුවන් නැතුව දුක් විඳින හැම ගැහැණියකටම දැනෙන්න ඇති කියලා මට හිතෙනවා.
ගැහැණියක් වෙලා ඉපදිලා අම්මා කෙනෙක් වෙන්න බැරි නම් ඒ ගැහැණියගෙන් ඇති වැඩක් නෑ කියලා මට හිතුනා. ස්වභාව ධහම ගැහැණියකට ගර්භාෂයක් දීලා තියෙන්නේ නිකන් තියාගෙන ඉඳලා මැරිලා යන්න නොවේ. ගැහැණියකට ලස්සන රුවක් දීලා තියෙන්නේ මිනිස්සු විතරක් සතුටු කරන්න නෙවෙයි. ඇයගේ පිරිපුන් පියයුරු තිබෙන්නේ බිළදකුට ලේ කිරි කොට ජීවය දෙන්නට මිස මිනිසුන් පිනවීමට නොවේ.
දරුවෙක් බලාපොරොත්තුවෙන් අපි අවුරුදු දෙකක් විතර බලාගෙන හිටියා. ඒත් මගේ සිහිනය සැබෑ උනේ නෑ. මගේ වයසේ අය දරුවන් වඩාගෙන හුරතල් කරනවා දකිනකොට මට තවත් බලාගෙන ඉන්න බෑ. මමත් ලෙයින් මසින් හැදිච්ච ගැහැණියක්. ගැහැණියකට දුක දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා.
දරුවන් නැති හේතුව මට දැනගන්න ඕන උනා. එක්කෝ මගේ මොනවා හරි අඩු පාඩුවක් ඇති. නැත්නම් එයාගේ මොනවා හරි අඩු පාඩුවක් ඇති. තවත් බලාගෙන ඉන්න එකේ තේරුමක් නෑ කියලා මට හිතුනා. මම තීරණයක් ගත්තා. ඒ වෛද්‍ය වරයෙක්ට පෙන්නලා අපට දරුවන් නැති හේතුව දැන ගන්න.
අපි වෛද්‍යවරයකු සොයාගෙන ගියා. ඔහු ඒ විෂය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයක්. ඔහුට මාව සම්පූර්ණයෙන්ම පරීක්‍ෂා කරන්න ඕනේ කිව්වා. මගේ මහත්තයා එලියේ තියලා ඔහු මගේ සම්පූර්ණ බොඩි චෙක් එකක් කලා. පුදුමයි ඔහු එදා කීවේ මම හරිම නිරෝගී කෙනෙක් කියලා.අන්තිමට ඔහු මගේ මාසික ඔසප් චක්‍රය පරීක්ෂා කරලා කිව්වා මට දරුවන් හඳන්න කායික වශයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා.
පස්සේ ඔහු කීවා මහත්තයා පරීක්ෂා කරන්න ඕනේ කියලා. එහෙම කියලා ඔහු එදා මගේ මහත්තයාව සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කලා. ඊට පස්සේ තමයි ඔහු අපි දෙන්නාව ඇතුළට අරගෙන මේ කතාව කිව්වේ.
ඔයාලා දෙන්නගෙම සම්පූර්ණ බොඩි චෙක් එකක් කරලයි මේ නිගමනයට අපි ආවේ. ඇත්තටම ඔයාලා දෙන්නට කායික වශයෙන් කිසිම ලෙඩක් නෑ. ඔයාලා දෙන්නම හරීම නිරෝගී දෙන්නෙක්. දරුවන් හදන්න බැරි තරම් හේතුවක් ඔයාලගේ ශරීර වල පෙනෙන්නේ නෑ. මා දන්නා වෛද්‍ය විද්‍යාව අනුව ඔයාලා දෙන්නා දරු පල ලැබීමට සුදුසු නීරෝගී ශරීර ඇති අය. තව ටිකක් ඉවසලා බලන්න. මොකද කසාඳ බැඳලා අවුරුදු දහයකින් විතර දරුවන් ලැබුන අයත් අපේ රටේ ඉන්නවා. එදා ඔහු එහෙම කිව්වා.
අපි දෙන්නාම නිරෝගීනම් තවත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නෑ කියලා අපට තේරුනා. ඊට පස්සේ තමයි අපි දොස්තරලා පස්සේ යන එක සම්පූර්ණයෙන්ම නතර කලේ
දරුවන් නැතුව ඉන්න අපට සමහරු අපට එක එක යෝජනා ගෙනාවා. දරුවෙක් ලබා ගන්න නම් අහවල් දෙවියන්ට පුජා වට්ටි පඩුරු තිබ්බාම ස්ථිරවම දරුවෙක් ලැබෙනවා කිව්වා. ඒ අතර තුර දරුවන් නැතුව ඉඳලා දරුවෙක් ලැබුන කෙනෙක් අපට පුදුම කතාවක් කිව්වා. ඇය දරුවා ලබා ගත් විදිහ කිව්වාම මට පුදුම හිතුනා. එයා කිව්වේ අහවල් දෙවියාගේ දේව රූපයේ තියෙන ලිංගික අවයවය එළකිරි වලින් හෝදලා බිව්වාම තමයිලු ඇයට දරුවා පිළිසිඳ ගත්තේ කියලා.
අපි තීරණය කලා මේ කියන දේවල් කරලා බලන්න. මොකද අපිට ඕන වෙලා තිබුනේ මොන ක්‍රමයකින් හරි ඉක්මනට දරු පැටියෙක්ගේ මුහුණ බලන්න. ඊට පස්සේ තමයි අපි දෙවියන්ගේ පිහිට ඉල්ලගෙන දේවාල ගානේ යන්න පටන් ගත්තේ. අපි දෙවියන්ට ගොඩක් බාර හාර උනා. පුජා වට්ටි සිය ගණන් තියන්න ඇති. ලක්ෂ ගණනින් දෙවියන්ට පඩුරු තියන්න ඇති. ඒත් අපේ දුක දෙවියන්ට පෙනුනේ නෑ.
සමහරු කිව්වා දරුවෙක් අරන් හදාගන්න කියලා. ඒත් මගේ මහත්තයා ඒකට කැමති උනේ නෑ. එයාට ඕන වෙලා තිබුනේ එයාගේ ලෙයින් මගේ කුසෙන්ම දරුවෙක් හදාගන්න.
දරුවෙක් නැති පවුල් ජීවිතයෙන් ඇති ඵලය කුමක්ද. මේ ප්‍රශ්නය අපේ විවාහ ජීවිතයට විශාල බලපෑමක් ඇති කලා. දරුවෙක් නැති ගැහැණියක් දිහා සමාජය බලන්නේ හරිම අමුතු විදිහට. මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි ගොඩක් අමාරු. හැම කෙනාම අහන්නේ තවම වෙනසක් නැද්ද කියලා. සමහරු අහන ප්‍රශ්න වලට මා ළඟ උත්තර තිබුනේ නෑ. දරුවෙක් නැති නිසා සමාජයට මුහුණ දෙන්න මම බය උනා. ඒ නිසා ගෙදරින් එළියට බහින්න මම කැමති උනේ නෑ.
දරුවෙක් ලබාගන්න ඒවනවිටත් අපි නොකරපු දෙයක් නෑ. නොගිය දේවාලයක් නෑ. උසස් කියන ගොඩක් දෙවිවරු ළඟට ගිහින් අපි අපේ දුක කීවා. ඒත් ඒ කිසිම දෙව් කෙනෙක් අපිට ඇහුන් කන් දුන්නේ නෑ. අපිට තේරුනා දේවාල ගානේ රස්තියාදු වෙන එක තේරුමක් නෑ කියලා.
දරුවෙක් ලබාගන්න කරන්න ඕන හැම දෙයක්ම කරලා අපට තවත් කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. අපිට සිදුවුනේ කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න විතරයි.
එක දවසක් අපේ ගෙදරට අපුරු මිනිහෙක් ආවා. සාමාන්‍යයෙන් මහත්තයා ගෙදර නැති වෙලේ මම කව්රුවත් ගෙදරට ගන්නේ නෑ. ඒත් ඔහු ගේට්ටුව ළගට ඇවිත් කියනදේ ඇහුනාම මට හිතුනා ඔහුව ඇතුළට ගන්න ඕනේ කියලා. ඔහු පෙනුමෙන් අවුරුදු හැටක පමණ කෙට්ටු හීන්දෑරි මනුස්සයෙක්. ඇඳලා හිටියේ සුදු පාට සරමක් සහ සුදුපාට අත් දිග කමිසයක්. කොණ්ඩය පැත්තට පීරලා තිබුනට ඔහුගේ කෙස් ඔක්කොම සුදු වෙලයි තිබුනේ.
"නෝනා අල්ල බලලා සාස්තර කියනවා."
"සාස්තරයක් අහන්න කීයක් ගන්නවාද?"
"කැමති ගාණක් දෙන්න නෝනා. බුලත් කොල දහයක් හරි ඊට අඩු ගාණක් මගේ අතේ තියන්න නෝනා."
මම ඔහුව ඉස්තෝප්පුවේ පුටුවක් දීලා වාඩි වෙන්න කිව්වා. ඊට පස්සේ බුලත් කොල පහක් ඇතුලට රුපියල් දෙසීයක් දාලා ඔහුගේ අතේ තිබ්බා. ඔහු වැඳගෙන කාට හරි යාච්ඤා කරනවා.
"මට වම් අල්ල දික් කරන්න නෝනාගේ."
ඔහු මගේ අල්ල දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සේ තමයි ඔහු හිමිහිට කතා කරන්න පටන් ගත්තේ.
"නෝනා හිනාවෙලා හිටියාට සතුටින් ඉන්න කෙනෙක් නෙවෙයි. හැම දේම දීලා නෝනට අවශ්‍යම දේ දීලා නෑ. දරුවෙක් නැති ප්‍රශ්නයක් නිසා නෝනා ඉන්නේ ගොඩක් සිත් වේදනාවකින්. එහෙම නේද."
"අල්ලේ රේඛා දිහා බලලා දරු පල කියන්න පුළුවන්ද? මම එහෙම ඇහුවා."
"නෝනට දරු පල තියෙනවා."
"තියෙනවා."
"ඔව් නෝනට දරු පල තියෙනවා. නෝනගේ අල්ලේ රේඛා අනුව දරු පල තුනක් පෙන්නුම් කරනවා. නෝනට දරුවන් නැත්තේ අතේ රේඛා වල ප්‍රශ්නයකට නෙවෙයි නෝනා. මේක වෙන ප්‍රශ්නයක්."
"වෙන ප්‍රශ්නයක්."
"මම මේ කතාව කියන්නේ නෝනාගේ අල්ලේ රේඛා බලාගෙන නෙමෙයි. මට පේන අධ්‍යාත්මික ශක්තියකින්. නෝනා මහත්තයා එක්ක කරපු ලොකු අකුසල කර්මයක් තමයි නෝනට දරුවන් නැති වෙන්න හේතු වෙලා තියෙන්නේ."
"අකුසල කර්මයක්."
"ඔව් ඔය දෙන්නා මේ බවයෙදීම කරගත් අකුසල කර්මයක්."
"මමයි මගේ මහත්තයත් කවදාවත් පව් කරපු අය නෙවෙයි."
"ඒත් ඔයාලා දෙන්නා අතින් නොදැනුවත්වම ලොකු අකුසල කර්මයක් වෙලා තියෙනවා. ඒක තමයි ඔයාලට දරුවන් නැති වෙන්න හේතුව."
"දරු පල නැති වෙන්න තරම් මොකක්ද අපි කල අකුසල් කර්මය."
"ඔය දෙන්නා මේ නිවසට ආපු මුල් දවස්වල ගේ අවට ටිකක් කැලේ වැවිලා තිබුනා නේද?"
"ඔව්."
"ඔයාලා දෙන්නා කැලේ සුද්ධ කරනකොට ගෙට කිට්ටුව තුඹසක් තිබුනා මතකද?"
"ම්..ම්.. මතකයි. ඉතින්.."
"ඒ තුඹස ඇතුලේ හිටියා අලුතින් පැටව් බිහි කරපු නාග හැපින්නක්. දවසක් මේ හැපින්න පැටව්ට ගොදුරක් හොයාගෙන තුඹසෙන් එළියට එනවා. ඒ වෙලාවේ ඒ අසලින් යන ඔබේ සැමියා මේ හැපින්නව දකිනවා. නාග හැපින්නක් පැටව් දාපු කාලෙට ගොඩක් දරුණු සතෙක්. හැබැයි ඌට කරදරයක් කලොත් විතරයි ඌ පහර දෙන්නේ."
"මේ සතාව දකින ඔබේ සැමියාට හිතෙන්න ඇති මේ හැපින්න නිසා ගෙදර කාට හරි කරදරයක් වෙයි කියලා. ඔහු දෙපාරක් හිතන්නේ නෑ. හැපින්න පස්සේ එලවලා ගිහින් පොල්ලක් අරගෙන ඌට ගහනවා. ඒත් ඌ ලේසියෙන් මැරෙන්නේ නෑ. හැපින්න පෙනය පුප්පගෙන ඉද්දිම ඔහු ඌගේ පෙනයට පොල්ලකින් ගහනවා. පස්සේ පෙනය තලලා තමයි ඌව මරන්නේ. බාගෙට මැරිලා ඉද්දීම ඔයාලා ඌට ගින්දර තියලා පුච්චනවා. හැපින්න වේදනාවෙන්ම මැරෙනවා. එහෙම දෙයක් ඔයාලගේ අතින් සිදු උනා නේද?"
"ඔව්. මම ඉස්සරහ තමයි මගේ මහත්තයා ඒ සතාව මැරුවේ. අනේ දෙයියනේ ඒක නිසා කොහොමද අපට දරුවන් නැති උනේ."
"මේ හැපින්න මැරෙන්න මොහොතකට කලින් ශාප කරනවා. මේක බලවත් සර්ප ශාපයක්."
"නාග හැපින්න කියන්නේ සර්පයින්ගෙන් උසස්ම කුලයේ සර්ප විශේෂයක්. නාගයින් මරණ එක විශාල පාපයක්. සර්ප ශාපයක් කියන්නේ ඉතාමත් දරුණු පාප කර්මයක්. ඒක කොච්චර ශාපයට ලක් වෙනවාද කියනවනම් දරුවන් බලාපොරොත්තු වෙන කාන්තාවන්ට දරුවන් ලැබෙන්නේ නෑ. ලැබෙන්න ඉන්න දරුවන් අංග විකල වෙන්න උනත් පුළුවන්."
"දෙයියනේ අපිට දරු පල නැත්තේ මේ සර්පයා මරපු නිසාද. අපි දැන් මොකද කරන්නේ."
"ඔය දෙන්නා එකතු වෙලා තවත් පාපයක් කර ගත්තා. ඌ හිටපු තුඹස වටේට කුණු කසල ගොඩ ගහලා ගිනි තියෙනවා. ඒ වෙලාවේ තුඹස ඇතුලේ හිටපු නාග පැටව් ටික ගින්දර රස්නය දරාගන්න බැරිව තුඹස ඇතුලේම මැරෙනවා. ඒත් ඒක ඔය දෙන්නා දන්නේ නෑ."
"දෙයියනේ අපි දැන් මොකද කරන්නේ. අපිට කවදාවත් දරු පල නැති වෙයිද."
"ඔයාලට මේ බවයෙදී දරු පල නෑ නෝනා. ඒකට හේතුව සර්ප ශාපයක්".
"එතකොට මට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැරිද?"
"මෙහෙමයි නෝනා නෝනට නෝනගේ මහත්තයාගෙන් දරු පල නෑ. නමුත් මට පේන විදිහට නෝනට වෙන කෙනෙක්ගෙන් දරු පල තියෙන්න පුළුවන්. මහත්තයාට වෙන කාන්තාවගෙන් දරු පල තියෙන්න පුළුවන්. ඒක මට විශ්වාසයෙන්ම කියන්න බෑ. ඒත් මේ සර්ප සාපයෙන් ඔයාලට ගැලවෙන්න බෑ."
"අපිට මේ සාපයෙන් ගැලවෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද."
"නෝනට පුළුවන්ද අවුරුදු පහක් විතර මස් මාංශ අනුභවයෙන් සම්පූර්ණයෙන්ම වැලකිලා ඉන්න".
"පුළුවන්".
"ඒ අතරෙදි කවදාවත් මේ කියන දේවල් කරන්න එපා. සුරතල් සතුන්ගේ පැටව් අම්මාගෙන් වෙන් කරලා හදන්න එපා. පැටව් ලැබිලා කිරි බොන වයසේදීම බලු පැටව්, පුස් පැටව් විකුණන්න එපා. තිරිසන් සත්තුන්ට වඳ එන්නත් දෙන්න එපා. දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් මදුරුවෙක් වත් මරන්න එපා. විශේෂයෙන් සර්පයින් මරන්න එපා. අල්ලලා ඈත කැලෑ වලට මුදා හරින්න. දරුවන් නැති අයට කවදාවත් හිත රිද්දන්න එපා. ස්වභාව ධහම ඔබට සමාවක් දෙයි".
ඔහු එදා ගොඩක් අවවාද දීලා ගෙදරින් පිට වෙලා ගියා. අපිට කවදාවත් දරුවන් හදන්න බෑ කිව්වාම මාව පිච්චෙනවා වගේ. මට ජීවිතය ගැන පුදුම කලකිරීමක් ඇති වෙන්න පටන් ගත්තා. ඔහු ඒ දේවල් කොහොම කිව්වාද කියලා මට අදටත් පුදුමයක්. නමුත් ඔහු කිව්ව ඔක්කොම ඇත්ත.
අම්මා කෙනෙක් වෙන මගේ එකම සිහිනය සිහිනයක් වෙන්න ඉඩදීලා බලාගෙන ඉන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. ගැහැණියක් වෙලා ඉපදිලා අම්මා කෙනෙක් වෙන්න බැරි නම් ඒ ජීවිතේ කිසිම වටිනාකමක් නෑ කියලා මට හිතුනා. මම සම්පූර්ණයෙන්ම වෙජිටේරියන් උනා. දරුවෙක් ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරන්න තරම් හයියක් මගේ සිතට ආවා.
අවුරුදු හතක් තිස්සේ අම්මා කෙනෙක් වෙන මගේ එකම සිහිනය මගේ මහත්තයාට සැබෑ කරන්න බෑ කියලා මට තේරුනා. ඒක උනේ නාග හැපින්නක් කල සාපයක් නිසාලු.
මගේ ජීවිතයේ අම්මා කෙනෙක් වෙන්න මුල පිරුන සිදුවීම සිදු උනේ ඊට පස්සේ. මම ඒක මගේ ජීවිත කාලෙම හංගගෙන හිටිපු කතාවක්. මට තවත් ඒක හංඟගෙන දුක් විඳින්න බෑ. මට ඒ කතාව ඔයාලට කියලා සිත බරින් නිදහස් කරගන්න ඕනේ.
එක දවසක් මම බාත් රූම් එකේ ඉද්දි එක පාරටම වතුර නතර උනා. මම නාන ඇදුම් පිටින් ගිහින් බලනකොට වතුර බටයක් පුපුරලා වතුර ගලාගෙන යනවා. මම වතුර ලයින් එක සම්පූර්ණයෙන්ම වහලා මගේ මහත්තයාට කෝල් එකක් ගත්තා. එයා ෆෝන් එකට ආන්සර් කලේ වැඩ කරන ගමන් කියලා මට තේරුනා.
"ඇයි සෙව්වන්දි.. "
"හරි වැඩේ ටැප් ලයින් එකේ බටයක් පුපුරලා වතුර එන්නේ නෑ. වතුර නැතුව මුකුත් කරගන්න බැරුව ඉන්නේ."
"මම ලොකු වැඩක ඉන්නේ සෙව්වන්දි. මට රෑ වෙනකල් ගෙදර එන්න බැරි වෙයි. ඔයා බයවෙන්න එපා. මම විනාඩි දහයකින් කෙනෙක් එවනවා ඔයා කැඩිච්ච බටේ එයාට පෙන්නලා ඉක්මනට හදාගන්න"
"අනේ ඔයාට ගොඩක් පින්."
මම එහෙම කියලා නාපු දිය රෙද්ද පිටින්ම බට ලයින් එක හදන්න එනකල් බලාගෙන හිටියා. කිව්වා වගේම විනාඩි දහයකින් කෙනෙක් ආවා. ඔහු උස තලෙලු අවුරුදු තිහක තිස් පහක පෙනුමක් තියෙන කඩවසම් කෙනෙක්. ඔහු ඇවිත් කැඩුනු බට ලයින් එක පෙන්නන්න කිව්වා. ඔහු වැඩිය කතා කලේ නෑ.
ඔහු කැඩිලා තිබුන බට ලයින් එක විනාඩි දහයකින් විතර හදලා අවසන් කලා. ඔහු යන්නම් මිස් කියලා යන්න හදනකොට මම කිව්වා තේ එකක් බීලා යන්න ඉන්න කියලා. ඔහු මගේ කීමට මොහොතක් නතර උනා. ඔහු ගොඩක් ප්‍රිය මනාප කෙනෙක්. මට ඔහුට කතා කරන්න ආසා හිතුනා.
"ඔයාගේ නම මොකද්ද?"
"අස්සිනී."
"ඔයා දෙමළ කෙනෙක්ද?"
නෑ මම සිංහල බෞද්ධ කෙනෙක්.
"ඔහු තේ එක බීලා ආපහු හැරුනා. ආපසු හැරිලා යන ඔහු පසුපස මම දුවගෙන ගියා."
"මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?"
"කියන්න මිස්."
"ඔයාට පුළුවන්ද මාව සමාජ අවමානයෙන් ගලවලා දෙන්න."
"මට තේරෙන්නේ නෑ මිස් කියන දේ."
"මම වඳ ගැහැණියක්. මාව දරුවන් නෑ කියලා සමාජයෙන් කොන් කරපු ගැහැණියක්."
ඔහුට තේරුනේ නෑ මම කියන්නේ මොකක්ද කියලා. මම ඔහුට මගේ පස්සෙන් එන්න කියලා මගේ කාමරයට ගිහින් මගේ ඇදුම් ඔක්කොම ගැලෙව්වා. ඔහුට තේරුනා මම මොකක්ද කිව්වේ කියලා.
අපි එදා එකට හිටියා. ඔහු සමඟ කොච්චර වෙලාවක් සංවාසයේ යෙදුනාද මට මතක නෑ.නමුත් ඒක හරිම සුන්දර අවස්ථාවක්. ඔහු යන්න ලෑස්ති උනා. මම ඔහු ළඟට ගිහින් වැඳලා ඉල්ලීමක් කලා.
"ඔයාට ගොඩක් පින්. අපි ආයෙමත් කවදාවත් මුණ ගැසෙන්නේ නෑ."
"හොඳයි මිස් මම ගිහින් එන්නම්."
ඔහු යන්න ගියා. මම වැරැද්දක් කලේ කියලා මගේ සිත හඩා වැටුනා. ඒත් මේ ක්‍රමය ඇරෙන්න අම්මා කෙනෙක් වෙන්න වෙන ක්‍රමයක් නැති බව මට තේරුනා. අවුරුදු හතක් ගෙවිලත් මගේ මහත්තයාට මට දරුවෙක් දෙන්න බැරි උනා.
ඔහු කවුද? ඉන්නේ කොහේද? ඒ මුකුත්ම මම දැනගෙන හිටියේ නෑ. කොටින්ම මම ඔහුව කවදාවත් දැකලා තිබුනේ නෑ. ඒ කිසිම දෙයක් දන්නේ නැතුව මම එදා ඔහු සමඟ කායිකව හැසිරැනා. මට ඕන උනේ ඉක්මනට මේ සමාජ අවමානයෙන් ගැලවෙන්න. ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න.
ඒ සිද්ධියෙන් පස්සේ සති දෙකක් විතර මම බලාගෙන හිටියා. ඒත් කිසිම වෙනසක් නෑ. මගේ බලාපොරොත්තු ටික ටික බොඳ වෙලා යනවා වගේ මට දැනුනා. මට අම්මා කෙනෙක් වෙන්න කවදාවත් බැරි වෙයිද? ඒ ටිකේම මම කලේ කණ්නාඩිය ඉස්සරහට ගිහින් බඩ ලොකු වෙනවද කියලා අල්ල අල්ලා බලපු එක.
මාසයක් විතර ගෙවිලා ගියා. එක දවසක් මගේ පියයුරු වල වෙනසක් මට තේරුනා. ඇඟේ වෙනසක් එක්ක කෑම අරෑචියක් ආවා. මට දරුවෙක් ලැබෙන්නද වෙන අසනීපයක්ද කියලා මට හිතාගන්න බෑ.
මම මේක කාටවත් කියන්න ගියේ නෑ. අඩුම ගානේ මගේ මහත්තයාටවත් මගේ ඇඟේ වෙනස්කම් මම කියන්න ගියේ නෑ. එතකොට අපි කසාඳ බැඳලා හරියටම අවුරුදු හතක් ගෙවිලා ඉවරයි.
ටික දවසක් යනකොට මට තේරුනා මට දරු පැටියෙක් තමයි කියලා. ඉස්සෙල්ලාම මගේ මහත්තයාට මේ ගැන මම කිව්වා. එයාට ඒක විශ්වාස කරන්න බෑ.එයා හිටියේ ඒ තරම් පුදුම සතුටකින්. ඔහු එච්චර සතුටින් හිටපු දවසක් මගේ ජීවිතේට මම දැකලා තිබුනේ නෑ.
දරුවෙක් ලැබෙන්නද කියලා මට තවමත් විශ්වාස නෑ. අපි කෝකටත් ගිහින් මගේ යුරින් එකක් චෙක් කරලා බැලුවා. දෙයියනේ ඇත්තටම මගේ කුසේ දරුවෙක් පිළිසිඳගෙන.
මම වඳ ගැහැණියක් නෙවෙයි කියලා මට කෑ ගහලා කියන්න හිතුනා. සමාජ අවමානයෙන් මම ගැලවුනා නේද කියලා මට දැනුනා.
දරුවා කුසට ආපු බව දැනගත්තාම ඔහු නිවාඩු දාලා මං ගාවට වෙලා ඉන්නවා. මගේ කකුල් අත ගානවා. මට කෑම කවනවා. ඒ ආදරය වචන වලට පෙරලන්න බැරි තරම් හැඟීම් බරයි. ඒත් දරුවගේ තාත්තා එයා නෙවෙයි කියලා එයා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.
අවුරුදු හතක් තිස්සේ මාව වඳ ගැහැණියක් කියපු මගේ මහත්තයාගේ නෑදෑයින්ගෙන් මට සුබ පැතුම් ගලාගෙන ආවා.
දැන් මම වඳ ගැහැණියක් නෙවෙයි කියලා මට දැනුනා. මට දැනුන සතුට වචනවලින් කියන්න තේරෙන්නේ නෑ. මම දැන් පරිපූර්ණ ගැහැණියක්.
එයා ඉපදුනා. ඔව් දෙයියනේ එයා ඉපදුනා. අනේ බෝලේ වගේ සුදුම සුදු කෙලි පැටියෙක්. දුවගේ ඇස් දෙක මුහුණ නන්නාඳුනන ඔහුගේ වගේමයි. ඔහුගේ පොකුටු හිස කෙස් එහෙම් පිටින්ම දුවට පිහිටලා. මගේ මහත්තයා දන්නවා නම් මේ ඉන්නේ එයාගේ දුව නෙවෙයි කියලා කොච්චර දුකක් දැනෙයිද එයාට. ඒත් මට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.
"මාව තාත්තා කෙනෙක් කලාට ඔයාට ගොඩක් පින් සෙව්වන්දි".එයා එදා එහෙම කියලා ඇඩුවා.
දුවගේ තාත්තා මගේ මහත්තයා නොවන බව. මට හොඳටම විශ්වාසයි. ඔහුගේ ඒ රුව මට තවමත් මැවිලා පේනවා. ඔහුගේ නම අස්සිනී. අපි පොරොන්දු උනා ආයෙමත් කවදාවත් මුණ ගැහෙන්නේ නෑ කියලා.
නමුත් දුව ටික ටික ලොකු වෙනකොට ඔහුගේ හැඩරුව, මගේ දුවගෙන් විද්‍යාමාන වෙන්න පටන් ගත්තා. අනේ ඔහුට එක පාරක් දුව පෙන්නන්න තියෙනවා නම් කියලා මට හිතුනා.
දුව ලොකු උනාම මගේ කතාව මම එයාට කියනවා. එයා එදාට ඇහුවොත් තාත්තා බලන්න ආසයි කියලා මම කාවද එයාට පෙන්වන්නේ. ඔහු කොහේද ඉන්නේ මොනවද කරන්නේ කියලා මම කවදාවත් දැනගෙන හිටියේ නෑ.
දුව වැඩි වියට පත් වෙලා ලොකු ගැහැණියක් වෙනකොට ඒ අමිහිරි අතීතය අපට සම්පූර්ණයෙන්ම අමතක වෙලයි තිබුනේ. දුව කසාඳ බැඳලා අවුරුදු තුනකට පස්සේ මගේ මහත්තයා හදිසි හෘදයාබාධයකින් නැති උනා. එයා නැති වෙලා අවුරුද්දක් පිරැණට පස්සේ අපි මහලු නිවාසයකට දානයක් දෙන්න සූදානම් කලා. ඒ මහලු නිවාසය පිහිටලා තිබුනේ හුඟක් පිටිසර දුෂ්කර පළාතක.
එතකොට දුව කසාඳ බැඳලා එයාට චුටි දුවක් ඉන්නවා. මට මතක විදිහට චුටි පැටියට අවුරුදු දෙකක් විතර ඇති. මහලු නිවාසයට දානේ දීලා හැම කෙනාටම අපි අදින්න ඇදුමක් පරිත්‍යාග කලා. චුටි දුව තමයි වැඩි හිටි අය ළඟට ගිහින් එයාලට ඇදුම් දීලා දණගහලා වැන්දේ. එදා චුටි දුව වැඩි හිටි පිරිමි කෙනෙක් ළඟට ගිහින් ඇදුම් දීලා වැඳලා ඔහු එක්ක කතා කර කර ඉන්නවා මම දැක්කා.
ඔහු කොණ්ඩය සම්පූර්ණ සුදු වෙච්ච රැවුල වවලා හිටපු වයස අවුරුදු හැත්තෑවක විතර පෙනුම තිබුන කෙනෙක්. දුව ඔහු පෙන්නලා කියනවා ඒ එයාගේ සීයලු. චුටි දුව හැම කෙනාටම සීයා කියන නිසා අපි ඒක එච්චර ගණන් ගත්තේ නෑ. ඒත් දුව වෙන අයට නැති විශේෂත්වයක් ඔහුට දැක්කුවා කියලා මට හිතුනා.
ඔහු චුටි දුව වඩාගන්නකොට මට ඔහුගේ ලොකු වෙනසක් දැක්කා. ඒ වෙලාවේ මහලු නිවාසයේ අනික් අය ඔහුට විහිළු කරනවා මම දැක්කා.
"අස්සිනී මහත්තයා බලන්න මිණිබිරිය ඇවිත්." කෙනෙක් එහෙම කියනවා මට ඇහුනා.
මගේ සිත අවුරුදු තිහක් ඈත අතීතයකට අරගෙන ගියා. අස්සිනී මේ ඔහුද? මම හිමිහිට ඔහු ළඟට ඇවිදගෙන ගියා. කොණ්ඩය ඔක්කොම සුදු වෙලා. රැවුල පපුව මැදට වෙනකන් වැවිලා. මම ඒ ඇස් දෙක දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. ඔව් ඒ තියෙන්නේ මගේ දුවගේ ඇස් දෙක. මාව අම්මා කෙනෙක් කරපු ඔහු ඒ ඇස් දෙක.
"අස්සිනී මහත්තයා මම සෙව්වන්දි."
"සෙව්වන්දි...?"
"මාව මතක නැද්ද?"
"මීට අවුරුදු තිහකට කලින් දවසක මතකද ගෙදරක කැඩිච්ච වතුර බටයක් හදන්න ඇවිත් මුණ ගැහුණු ගැහැණියක්ව."
"අවුරුදු තිහකට කලින්."
"වඳ ගැහැණියක් කියලා සමාජයෙන් කොන් කරපු ගැහැණියක් මුණ ගැසුනා මතකද මහත්තයාට."
ඔහු ටිකක් වෙලා මා දෙස බලාගෙන හිටියා.
"ඒ සිද්ධියෙන් පස්සේ නෝනට දරුවෙක් ලැබුනාද."
"අර ඉන්නේ මට ලැබුන ඔයාගේ දුව". මම මගේ දුව ඔහුට පෙන්නුවා.
"එතකොට මේ පැටික්කි."
"ඒ තමයි මගේ මිනිබිරී."
"මගේ මිණිබිරී."
"ඔව් අස්සිනී මහත්තයාගේ මිණිබිරී."
ඔහුගේ ඇස් වල කදුළු පිරුනා. ඒ හැගීම් බර කටහඬ අවුරුදු තිහකට පස්සේ ආයෙමත් මට ඇසුනා.
"මගේ මිණිබිරී."
බී.කේ. චාමින්ද ගුනවර්ධන.

Comments
Post a Comment