සුංගි 01




"අම්මෙ..."

ගේ ඉස්සරහ තිබ්බ අඹ ගහේ පහළින් ම තිබ්බ අත්තට වෙලා ඉඳගෙන අත් දෙකින් අඹ අත්තත් දෙපැත්තෙන් අල්ලගෙන පද්දන ගමන් සුංගි අහන්නෙ අඹ ගහ පාමුලට වෙලා තණකොළ උගුල්ලන අම්මගෙන්.

"ම්ම්ම්... ඒ පාර මොකද...?"

අම්ම අහන්නෙ සුංගිගෙ අලුත් ම ප්‍රශ්නෙ මොන ජාතියෙ එකක් වෙයි ද කියල හිත යටින් තනියම ම කල්පනා කරන ගමන්.

"නිකන්..."

එහෙම කියල සුංගි ආයෙමත් මහ හයියෙන් අඹ අත්ත පද්දනවා.

"හ්ම්ම්... එහෙනං කමක් නෑ... ඔය අත්ත අතෑරුණොත් දබොයි ගාල බිම හැබැයි හොඳේ..."

අම්ම එහෙම කියල ආයෙමත් කර අර හිටපු වැඩේට ම අවධානය දුන්නා.

"ඇයි අම්මෙ මේ අත්ත මෙහෙම පැද්දෙන්නෙ...?"

ඔන්න කොයි මොහොතෙ ද කියන බලාපොරොත්තුවෙන් අම්ම බලාගෙන හිටපු ප්‍රශ්නෙ, ඒ වතාවෙ නම් සුංගි ඇහැව්වා.

"ඕක පැද්දෙන්නෙ දෝණි පද්දන හින්දා..."

සුංගිට ම ගැළපෙන විදිහෙ උත්තරයක් අම්මගෙනුත් හම්බුණා. ඒ පාර සුංගි අඹ අත්ත පද්දන එක පොඩ්ඩකට නතර කළා. අම්මත් බලන් හිටියෙ කෙල්ලගෙ නැටිල්ල මොකද එක පාරට ම නැවතුණේ කියල.

"හ්ම්ම්... හරි තමයි... දැන් පැද්දෙන්නෑ... මං පද්දපු හින්ද තමා පැද්දිලා තියෙන්නෙ..."

සුංගි තනියම ම කියාගන්නව අම්මට ඇහෙනවා.

"ඉස්කෝලෙ වැඩ ඉවර ද සුංගි... අඹ ගහට වෙලා පැද්දි පැද්දි ඉන්නෙ...?"

"නෑ... තාම පටන් ගත්තෙත් නෑ..."

කොහොමටත් කවදත් සුංගිගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කාටවත් උත්තර ලැබෙන්න මහ වෙලාවක් යන්නෑ.

"ඇයි ඒ...?"

"කම්මැලියි කරන්න..."

"කම්මැලියි කියල බෑනෙ... කරන්න එපැයි... ඇඟ හෝදල ටිකකින් කරමු දෙන්නත් එක්ක ම..."

සුංගි තාම එක වසරෙ. සුංගිගෙ අම්මත් සුංගි යන පාසලේ ම ගුරුවරියක්. සුංගිට සහෝදර සහෝදරියො කවුරුවත් ම හිටියෙ නෑ. හැබැයි අම්මයි, තාත්තයි ඇරුණ ම සුංගිගෙ හිතට එන දාහකුත් එකක් ප්‍රශ්නවලට උත්තර අහගන්න සුංගිගෙ සීයයි, අප්පච්චියිත් ගෙදර හිටියා.

"හ්ම්ම්... ඒ වුණාට අද එච්චර වැඩක් නෑ... ගණිතය විතරයි තියෙන්නෙ ගෙදර වැඩ..."

කටත් උල් කර කර ම යි කෙල්ල කියන්නෙ. කෙල්ල පුංචි කාලෙ ඉඳන් ම හරි ලස්සනට බහ තෝරනවා. කිසි ම වචනෙක පටලැවිල්ලක් ඒ හින්ද ම දැන් සුංගිට නෑ. කියාගන්න කොච්චර අමාරු වචනයක් වුණත් සුංගි හරි ලස්සනට උච්චාරණය කරනවා.

"ඇයි ගණං හදන්න ආස නැද්ද...?"

"නැත්තෙ නෑ..."

"එහෙනං...?"

අම්මත් ඒ පාර ගහ මුලින් නැඟිටල, සුංගි ඉඳගෙන හිටපු අඹ අත්තට කිට්ටු වුණා.

"ටීච කියපුව මට තේරුන්නෑ..."

සුංගි කියන්නෙ ආයෙමත් අඹ අත්ත පද්දවන ගමන්.

"ටීච කියන්නෙ ම එකයි එකයි එකට එකතු කරහම දෙකයි කියල..."

"ඉතින්... ඒක වෙන හැටි කියල දුන්නෙ නැද්ද ඔයාලගෙ ටීච..."

"කියල දුන්නා..."

"ඉතින්...? තේරුන්නැද්ද...?"

"තේරෙන්න කියල දුන්නෑ... එක විදිහයි කියල දුන්නෙ..."

සුංගි ඒ පාර එක පාරට ම අඹ අත්තෙන් පහළට පැනල තණකොළ ගලවන්න පටන් ගත්තා.

"අන්න හොඳයි කරනවනං... මිදුලවත් සුද්ද වෙනවා... බොරුවට අඹ අතු පද්ද පද්ද ඉන්න වෙලාවෙ..."

අම්මත් කියන්නෙ සුංගි දිහා ම බලාගෙන හිනා වෙවී.

"ඇයි අම්ම තණකොළ ගැලෙව්වෙ...?"

"මිදුල කැලෑ වෙන හින්දනෙ ළමයො..."

"එතකොට කැලෑව එපා ද අපට...?"

"කැලෑව ඕන... ඒ වුණාට සුංගියො මිදුල කැලෑවක් කරගෙන බෑනෙ..."

"හ්ම්ම්..."

එහෙම කියල සුංගි තණකොළ ගස් දෙකකුත් අත් දෙකට අරගෙන නැඟිට්ටෙ බැරෑරුම් මූණකුත් එක්ක ම යි.

"මිදුල කැලෑ වෙන්න දෙන්න බෑ... කැලෑ මිදුල් වුණාට කමක් නෑ..."

සුංගි තනියම ම මුමුණනවා. ඒ මිමුණුම අම්මටත් ඇහුණත් අම්මා ඇහුන්නැති ගාණට හිටියෙ සුංගි ඒක ප්‍රශ්නයක් විදිහට ඇහුවොත් දෙන්න තරම් සාධාරණ උත්තරයක් නොතිබුණු හින්දා.

"මෙන්න මේ විදිහ විතරයි ටීච අපට කියල දුන්නෙ..."

සුංගි අතේ තිබුණු තණකොළ ගස් දෙක අම්මට පෙන්නන ගමන් උදේ ඉගෙන ගත්තු ගණන් පාඩම සීරුවට අම්මට උගන්නනවා.

"මේ අතේ එකයි... මේ අතේ එකයි... ඔක්කොම එකට එකතු කරහම......"

එහෙම කියල සුංගි අත් දෙකේ තිබ්බ තණකොළ ගස් දෙක එක අතකට ගන්නවා.

"දෙකයි..."

කෙල්ල ආයෙමත් වෙන වෙන ම තණකොළ ගස් දෙක පෙන්නනවා.

"ඉතින් ටීච හරියට කියල දීලනෙ... එකයි එකයි දෙකයි..."

"ඒ වුණාට..."

"ඒ වුණාට කියන්නෙ මොකෝ...?"

"ඒ විදිහටනං ටීච හරි... ඒ වුණාට තව විදිහක් තියෙනවනේ..."

"හ්ම්ම්... ඒකත් උගන්නන්නකො චූටි ටීච මට එහෙනං..."

අම්මා සුංගි ගාව ම බිමින් ඉඳගත්තා. සුංගි සීරුවට තණකොළ උගුල්ලපු බිමින් ම අත් දෙකට පස් ටික ටික අරගෙන, හරි ලස්සනට ඒ පස්වලින් අත් දෙකේ ඇඟිලි තුඩුවලින් තද කර කර පුංචි ම පුංචි මැටි බෝල දෙකක් හදාගත්තෙ සැරින් සැරේට අම්මා දිහාටත් ඇස් දෙක කරකවන ගමන්.

"ඔන්න අම්මෙ..."

ඒ වතාවෙ සුංගි මැටි බෝල දෙකත් අත් දෙකේ තියාගෙන අම්මගෙ මූණට ම එබුණා.

"මේ අතේ එකයි... මේ අතේ එකයි..."

අත් දෙක ඉහළ පහළ කර කර සුංගි කියන්නෙ කටත් මැටි බෝලයක් වගේ රවුම් කරගෙන.

"ඉතින් හරිනෙ... මේකෙ එකයි... මේකෙ එකයි... දෙකයි..."

"අම්මත් කියන්නෙ ටීචගෙ විදිහට ම යි... අම්මත් ටීචනෙ..."

"හරි හරි...දෝණි ම කියන්නකො දෝණිගෙ විදිහට..."

"එකයි... එකයි... එකතු කරහම..."

සුංගි එහෙම කියල අත් දෙකේ තිබ්බ බෝල දෙක එකට එකතු කරල එක බෝලයක් හැදුවා.

"දැක්ක නේද...? එකයි එකයි එකතු කරහම එකයි..."

"ආ හැබෑට... ඒකත් හරි නේන්නං..."

සුංගිගෙ අම්මත් එහෙම කිව්වෙ සුංගි කියපු කතාවෙ වැරැද්දක් පෙන්නල දෙන්න තරම් පුළුවන්කමක් නොතිබ්බ නිසා.

"ඒ කියන්නෙ අම්මත් ඒක කලිං දැනං හිටියෙ නැද්ද...? අයියෝ මේ ටීචලනං... අම්මත් එහෙනං උගන්නන්න ඇත්තෙ අපේ ටීච වගේ ම තමා... මං එහෙදි ම ක්ලේ බෝල දෙකක් හදල ටීචට කියල දුන්නා... ඒත් ටීච ඒක ගණං ගත්තෙ නෑ..."

"නැත්තෙ නෑ... ටීච හිතට ගන්න ඇති සද්ද නැතුව ම..."

අම්මා සුංගිට එහෙම කිව්වෙ සුංගිගෙ හිතේ ඉස්කෝලෙ ගුරුතුමී ගැන අවිශ්වාසයක් උපන්නොත් ඒක එතනින් ඉස්සරහට සුංගිගෙ ඉගෙනුම් කටයුතුවලට බාධාවක් වෙන්න පුළුවන් හින්දා.

"හ්ම්ම්... අම්ම ඇයි දැං මේ තණකොළ ගැලෙව්වෙ...?"

සුංගි හැමදාමත් ඔහොම්ම ම තමයි. එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට සුංගිට තව ප්‍රශ්නයක්.

"මිදුල කැලෑ වෙනවනෙ... ඒකයි..."

"එතකොට කැලෑව මිදුල වුණාට කමක් නැද්ද...?"

"මිදුල තණකොළ වැවිල කැලෑ වුණොත් සත්තු සරපයි එනවනෙ... එතකොට දෝණිට මෙහෙම මිදුලට බැහැල සෙල්ලං කරන්නත් බෑ..."

"හ්ම්ම්... එතකොට සත්තු සරපයි කියන අය කැලේ ද ඉන්න ඕන...?"

"ඔව්නෙ... මිනිස්සු වගේ මෙහෙම ලොකු ගෙවල් හදාගෙන ජීවත් වෙන්නෙ නෑනෙ එයාලා... ගස් බෙනවල, හුඹස්වල එහෙම තමා එයාල ඉන්නෙ..."

"ඉතිං එතකොට අපි තණකොළ ගලෝල කැලෑ සුද්ද කරල මිදුල් කරනව වගේ එයාලටත් පුළුවන්නෙ අපේ මිදුල් කැලෑ කරල මෙහෙත් ජීවත් වෙන්න..."

"හ්ම්ම්..."

"එතකොට ඉස්සෙල්ල ම ආවෙ කැලෑ ද මිදුල් ද...?"

ඒ පාර සුංගිට තවත් ප්‍රශ්නයක්.

"මං හිතන්නෙ නං කැලෑ... මොකද අපිත් හුඟාක් ඉස්සර ජීවත් වෙලා තියෙන්නෙ කැලේ තමයි..."

"ඒ කිව්වෙ අම්මල පොඩි කාලෙ ද...? හරි ෂෝක් ඇතිනෙ අම්මෙ... ඉතිං අපට ආයෙ කැලේට යන්න බැයි ද...?"

"අයියෝ දෝණි... මං හුඟාක් ඉස්සර කිව්වෙ අපි පොඩි කාලෙ නෙමෙයි... ඊටත් හුඟාක් ඉස්සර... එහෙම ජීවත් වෙච්ච අය දැන් නෑ..."

"හ්ම්ම්..."

සුංගි ඒ පාර මුකුත් ම නොකිය කරබගත්තා. හැබැයි ඒ වුණාට සුංගි ඉන්නෙ ලොකු කල්පනාවක කියල අම්මට තේරුණා.

"ඇයි දෝණි...?"

"පව් නේද...?"

"කවුද...?"

"එයාලා..."

"එයාල කිව්වෙ...?"

"ඉස්සර අර කැලෑවල හිටිය කිව්ව අය..."

"ඇයි ඉතිං එයාල පව් කියල දෝණිට හිතුණෙ...?"

"අපි කැලෑ මිදුල් කරන්න ගත්තමනෙ එයාලට ඉන්න කැලෑවක් නැති වෙන්න ඇත්තෙ..."

"ආ... අපි නෙමේනෙ මැණික... එයාල ම තමයි එයාලගෙ ලේසියට එහෙම කරගත්තෙ... දැන් බලන්නකො... ගෙයක් තියෙන හින්ද දැන් දෝණිට හොඳ සනීපෙට ඉන්න පුළුවන්නෙ... අව්වෙන් බේරෙන්නත් පුළුවන්... වැස්සෙන් බේරෙන්නත් පුළුවන්... සත්තු සරපයින්ගෙන් බේරෙන්නත් පුළුවන්... කිසි ම බයක් නෑනෙ..."

"හ්ම්ම්... ඒ වුණාට ඉතිං එයාල ඒ සත්තුන්ට ගෙවල් හදල දුන්නෑනෙ... එයාල හුඟක් බයෙන් ඇත්තෙ..."

"ඇයි ඒ...?"

"අම්ම මට දවසක් කිව්වෙ... කුරුල්ලන්ගෙ ගෙවල් තියෙන්නෙ ගස් උඩ... ගස් බෙනවල එහෙම කියල... අනික් අයගෙ ගෙවල් තිබ්බෙත් කැලේනෙ... ඉතිං අපට ලොකු ගෙවල් හදාගන්න කැලේ කැපුවම එයාලට ඉන්න තැනක් ඇත්තෙ ම නෑනෙ... කැලෑවල ඉන්න අයත් හරි බයෙන් ඇත්තෙ අපි ඒ හරියෙත් ගෙවල් හදන්න කොයි වෙලේ එයි ද කියල..."

දෝණිගෙ කතාවෙ වැරැද්දකුත් නෑ කියල අම්මටත් හිතුණා. ඉතින් අම්මත් සුංගිට මුකුත් ම කියන්න ගියේ නෑ.

"හ්ම්ම්... ඒකනෙ දෝණි... අපි ඉතින් අපේ වත්තෙ ගස් ටිකක් එහෙම හිටවමු... එතකොට එයාලට ඒ ගස්වලත් ගෙවල් හදාගන්න පුළුවන්නෙ... එතකොට හරි... තණකොළේ නං ගෙවල් හදාගන්නත් බෑනෙ... ඒ හින්ද ඒ ටික සුද්ද කරල දාමු..."

"අනේ..."

"ඒ පාර මොකෝ...?"

"තණකොළ අස්සෙත් ගෙවල් හදාගන්න අය ඉන්නවනෙ... එයාලට ගස් උඩ ගෙවල් හදාගන්න බෑනෙ... මේ බලන්නකො මෙයා..."

සුංගි ඒ පාර අම්මට පෙන්නන්නෙ ගැඩවිල් පණුවෙක්ව.

"මෙයා එහෙම ගහක් උඩ ගෙයක් හදාගන්න ගියොත් හොඳට හිටියි... ගහට නඟින්න කලින් එහෙනං මෙයා කුරුල්ලෙක්ගෙ බඩේ..."

සුංගි කියන්නෙ ඔළුව එහෙමත් කරකවලා.

"අම්මෝ දෝණි... මට නං ඇත්ත ම යි තේරෙන්නෑ කොහොම ඔයාගෙ ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න ද කියල..."

"හ්ම්ම්... ඒ වුණාට මං ඉතිං ප්‍රශ්නයක් ඇහුවෙ නෑනෙ..."

සුංගි ආයෙමත් හිනා වෙවී කියනවා. එහෙම කියල තප්පරේට අත් දෙක ගවුමෙ ම පිහදාගන්න සුංගි විදුලි වේගෙන් දුවල ගියේ ගේ පැත්තට. හැබැයි ගේ ඇතුළට යන්න කලින් සුංගි එක පාරට ම මිදුලෙ නැවතුණා. එහෙම නැවතුණු සුංගි මහ හයියෙන් කෑ ගහද්දි සුංගිගෙ අම්මත් බැලුවෙ ගැස්සිලා ගිහින්.

"අම්මෙ අහස ගිනි අරන්..."

කෙල්ල ඇහි පිල්ලමක්වත් ගහන්නෙ නැතුව බලාගෙන ඉන්නෙ වත්තෙ කෙළවරේ පුවක් ගස් පේළියට එහායින් පේන අහස දිහා. ඉර බහින්න ඔන්න මෙන්න හින්දා අහසෙ තියෙන්නෙ වෙනම ම ලස්සන පාටක්... ගින්දර පාටක් මුහු වෙච්ච අහස ඇත්තට ම සුංගි කිව්ව විදිහට පේන්නෙ ගිනි අරන් වගේ ම තමයි.

ආයෙමත් මුණගැහෙමු ❤️❤️

දිගට ම කියවන්න හිතක් තියෙනව නම් අදහසක් කියාගෙන ම යමු... ❤️❤️

Comments

Popular posts from this blog

ගැහැණියක් නොකියපු කතාවක් කෙටි කතාව

හොරකම කෙටි කතාව

කුඩය කෙටිකතාව