සුංගි 02




"ඉතිං දෝණි... කොහොම ද අද දවස...?"

සුංගිගෙ අප්පච්චි ඇහුවෙ රෑ කෑම මේසෙට ඉඳගත්තු වෙලාවෙ. සුංගි පිඟාන වටේට සුංගිගෙ චූටි ඇඟිලිවලින් රවුම් ඇඳ ඇඳ හිටියෙ.

"හොඳයි අප්පච්චි..."

සුංගි කියන්නෙ කර කර හිටපු වැඩෙන් ඇස් දෙක අහකටවත් ගන්නෙ නැතුව ම යි.

"හොඳයි කිව්වෙ...? මොනව ද ඉතිං අද කළේ...?"

අප්පච්චිට ඕන කොහොම හරි සුංගිව කතාවට අල්ලගන්න.

"අපේ අද කැලෑ මිදුල් කළා... අප්පච්චි... ඇයි මේ ඔක්කොම පිඟං රවුං...?"

අප්පච්චිට උත්තරේකුත් දෙන ගමන් සුංගි අනික් පැත්තට ආපහු ප්‍රශ්නෙකුත් අහනව.

"මේ ඔක්කොම පිඟං රවුං වුණාට දෝණි තව එක එක හැඩවල පිඟං තියෙනව. මං ගෙනත් දෙන්නංකො දෝණිට බලන්න..."

"හ්ම්ම්... ඉතිං ඇයි අපේ ගෙදර ඔක්කොම පිඟං රවුං එතකොට...?"

"රවුං පිඟං ලස්සනයිනෙ දෝණි... පිඟාන රවුං වුණාම අපිට කෑම කන්නත් ලේසියි..."

"ඇයි ඒ...?"

"කෑම එකතු කර ගනිද්දි... කෑම අනද්දි... අපේ අත් හුඟක් එහෙට මෙහෙට යන්නෙ රවුං හැඩේටනෙ දෝණි... ඒකයි..."

"ඉතිං පිඟං රවුං හින්දනෙ අපේ අතුත් රවුමට යන්නෙ..."

ඒ පාර නම් අප්පච්චිට කට උත්තර නෑ. ලේසි පහසු උත්තරේකින් කෙල්ල සෑහීමකට පත් වෙන්නෙ නෑ කියල අප්පච්චිත් හොඳට ම දන්නවා.

"කවුද අප්පච්චිට කිව්වෙ රවුං පිඟං ලස්සනයි කියල...?"

"කවුරු කියන්න ද ඉතිං දෝණි...? අප්පච්චිට ම තමා හිතුණෙ..."

අප්පච්චිත් කියන්නෙ හිත යටින් රවුම් පිඟන් ගැන කෙල්ලට දෙන්න හොඳ උත්තරේකුත් කල්පනා කරන ගමන්. මෙච්චර කාලෙකට ඇයි තමන්ට එහෙම දෙයක් කල්පනා නොවුණෙ කියලත් අප්පච්චි ඔය අතරෙ කල්පනා කළා.

"හ්ම්ම්... අර තව තව හැඩවල පිඟං තියෙනව කිව්වෙ අප්පච්චි... පුළුවන් නං මට එහෙම එකක් ගෙනල්ල දෙන්නකෝ..."

ඒ පාර අප්පච්චිට කෙල්ලගෙන් ඉල්ලීමක්. එවෙලෙ තමයි ඔන්න අම්මයි, අත්තම්මයිත් ඇවිත් රෑ කෑම මේසෙට වාඩි වුණේ. 

"බලන්නකො අම්මෙ... අපේ දෝණිට ප්‍රශ්නයක් ඇවිත්නෙ..."

"ඒ පාර මොකක් ද...?"

සුංගිගෙ ප්‍රශ්න ඇහිල්ලෙ මහ ලොකු අමුත්තක් නැති හින්දා අම්මත් අහන්නෙ හිනා වෙවී.

"අප්පච්චි අත්තම්ම එක්ක කතා කරද්දි අම්ම මැද්දෙන් පයින්න හොඳ නෑනෙ..."

ඒ පාර පිඟාන වටේට රවුම් ඇඳිල්ල පැත්තකින් තියල සුංගි අම්මගෙ මූණට එබෙනවා.

"අම්ම මැද්දෙන් පැන්නෙ නෑනෙ දෝණි... අප්පච්චි අම්මට තමයිනෙ කතා කළේ..."

"එහෙනං අප්පච්චි තමා වැරදි..."

"ඒ පාර ඇයි අප්පච්චි වැරදි...?"

"මගෙ අම්මා කොහොම ද අප්පච්චිගෙත් අම්මා වෙන්නෙ...? අප්පච්චි අම්මෙ කියලනෙ කතා කළේ... අත්තම්මනෙ අප්පච්චිගෙ අම්මා..."

සුංගි කටත් උල් කර කර මාරුවෙන් මාරුවට තුන් දෙනා ම දිහා බල බල කියනවා. එතකොට තමයි සුංගි මොකක් ද මේ කියන කතාව කියල හැමෝටම තේරුණේ. හිනායන්න ආවත් කවුරුත් ම සුංගිගෙ කතාවට හිනා වුණේ නෑ. ඇහෙන් ඇහැට ඉඟි කරගන්න ගමන් තුන් දෙනා ම හිනාව හිත ඇතුළෙ ම හංග ගත්තා.

"දෝණි කිව්වමනෙ දෝණි ඒක මටත් කල්පනා වුණේ... දෝණිගෙ පිඟං ප්‍රශ්නෙ ගැන ගැන හිතපු හින්ද තමයි මට වැරදුණේ... මං අම්ම දිහා බලල ඉතිං එහෙම කිව්වම අම්මත් හිතන්න ඇති මං අම්මගෙන් ම තමයි ඇහුවෙ කියල... ඒකයි අම්මත් උත්තර දෙන්න ඇත්තෙ..."

"ඒකනෙ..."

කෙල්ල ඔක්කොම වැඩ පැත්තක තියල හරි ලස්සන හිනාවක් දානවා. කට්ටිය ම සුංගි දිහා බලාගෙන ඉන්නෙ හොඳ හිනාවකුත් එහෙම දාලා මොකක්ද සුංගි ඊළඟට කියන්න යන කතාව කියල.

"අම්මා අප්පච්චිගෙත් අම්මා වුණා නං මායි අප්පච්චියි අයියයි නංගියි... හරි ශෝක් අනේ එහෙම වුණා නං..."

සුංගිගෙ ඒ කතාවට නම් ඔන්න කට්ටියට ම හිනා ගියා.

"අපූරු අයියයි නංගියි... දෝණිටත් වඩා අප්පච්චිව බලාගන්න තමා එහෙනං අපට අමාරු වෙන්නෙ..."

අත්තම්මා හිනාව අතරින් ම කියනවා.

"ඒකනං ඇත්ත අත්තම්මා... අප්පච්චි තාම දන්නෑනෙ පිඟං ඇයි රවුමට හදල තියෙන්නෙ කියලත්..."

"අයියෝ... අයියෝ... ඒකනෙ දෝණි... අප්පච්චි මොනව ද කිව්වෙ ඉතිං මගෙ මැණිකට...?"

"ලස්සන හින්දලු රවුමට හදන්නෙ... මටනං රවුමට තියෙන පිඟංවල එහෙමට ඇති ලස්සනක් නෑ... ඊට පස්සෙ කිව්වා අපි කෑම කනකොට අපේ අත් එහෙට මෙහෙට යන්න රවුමට හින්දලු කියල..."

"ඉතිං... දෝණි දන්නව ද දැන් ඇයි මේ පිඟං රවුමට හදල තියෙන්නෙ කියල...?"

"දන්නෙ නෑ... දැනං හිටියනං අප්පච්චිගෙන් අහන්නෙ නෑනෙ මං... හැබැයි දැන් හිතුණා... මේ..."

සුංගි ඒ පාර එහෙම කියල අම්ම පිඟානට බෙදල තිබුණ බත් ටික පිඟාන ඇතුළෙ රවුමට කරකවගෙන ගිහින් ඔක්කොම බත් ටික එක තැනකට එකතු කර ගත්තා. 

"මේක හතරැස් වුණානං මෙහෙම එකතු කරගන්න බෑනෙ... මුළුවල කෑම හිරවෙනවනෙ... මුළුවලට ඇඟිලි දදා එකතු කරං කන්න ගියාම අපට කන්නත් එපා වෙනව... රවුමට මුළු නෑනෙ... කොටු, ත්‍රිකෝණ වගේ ඔක්කෝට ම මුළු තියෙනවනෙ... ඒ හින්ද වෙන්නැති.මට නං හිතෙන්නෙ..."

සුංගි ම අන්තිමට හරි ලස්සනට ප්‍රශ්නෙ විසඳගෙන තිබ්බා.

"හරි අපූරුයි... ඔය හොයාන තියෙන්නෙ දෝණි ම උත්තරේ..."

අත්තම්මත් සුංගි දිහා බලාගෙන හරි ලස්සනට හිනාවක් දානවා.

"කවුද දෝණි අද කැලෑ මිදුල් කරේ...?"

ඒ පාර අප්පච්චි දෝණිගෙන් ආයෙමත් ප්‍රශ්නයක් අහන ගමන් පළවෙනි බත් පිඬ කටෙන් තියාගත්තා. සුංගිත් හිටියෙ බත් කන ගමන් හින්දා අප්පච්චිට සුංගිගෙන් එක පාරට ම උත්තරයක් ලැබුණෙ නෑ.

"අම්මා තමයි..."

බත් කට උගුරෙන් පහළට යනකල් ඉඳල ම සුංගි උත්තරේ දුන්නෙ කෑම කටේ තියාගෙන කතා කරන එක හොඳ පුරුද්දක් නෙමෙයි කියල සුංගිට අම්මයි අත්තම්මයි පුංචි කාලෙ ම කියල දීල තිබුණ හින්දා කියල අප්පච්චිත් දන්නවා. ඒ හින්ද සුංගිගෙ උත්තරේ ලැබෙනකල් අප්පච්චිත් ඉවසීමෙන් බලාගෙන හිටියා.

"ඇයි දෝණි ඒ කැලෑ මිදුල් කරේ...?"

"අම්මගෙන් ම තමයි අහන්න ඕන ඉතිං... පව්... අම්ම කැලේ මිදුල් කරල ගෙවල් නැතිවෙච්ච ගැඩවිල් පවුලක් ම මට හම්බුණා..."

"පවුලක් ම...?"

"හ්ම්ම්... අම්මයි අප්පච්චියි බබාල දෙන්නයි..."

"දෝණි කොහොම ද දන්නෙ එයාල එක ම පවුලක් ම යි කියල...?"

අප්පච්චි අහන්නෙ නළලත් රැළි කරගෙන.

"එයාල මාත්තෙක්ක කතා කළා ඉතිං... ගැඩවිල් අම්ම තමයි කතා කළේ... මං එයාට කිව්ව එයාලට ගෙයක් හදාගන්න මං හෙට වෙන තැනක් හොයල දෙන්නං කියල... පව්... සීතලේ අද රෑට කොහොම ඉඳියි ද දන්නෑ..."

"අනේ... දෝණි එවෙලෙ කිව්ව නං මං එයාලගෙ ගේ තියල සුද්ද කරනවනෙ..."

"හ්ම්ම්... අම්මට කියල වැඩක් නෑ අප්පච්චි... ඒකයි මං කිව්වෙ නැත්තෙ... අම්ම එහෙම හුඟක් ගෙවල් කැඩුව දැක්කෙ නෑ වගේ... අර ගැඩවිල් අම්ම අඬනවවත් ඇහුණෙ නෑනෙ අම්මට අඩු ම ගාණෙ... අනේ අම්මෙ තණකොළ ගැලෙව්වට උදැල්ලකින් නං සුද්ද කරන්න එපා එහේ..."

සුංගි කියන්නෙ ඇස් දෙකේ කඳුළුත් පුරවගෙන.

"හරි හරි... මං ආයෙ ඔන්න සුද්ද කරන තැනක් දෝණිගෙනුත් අහල තමයි සුද්ද කරන්නෙ... දැන් අඬන්නැතුව බත් ටික කාල ඉමුකො අපි..."

ඒ පාර සුංගිට එහා පැත්තෙන් කෑම මේසෙට වාඩි වෙලා හිටපු අම්මා සුංගිගෙ ඔළුව අත ගෑවෙ ආයෙමත් දෝණි ළඟ පාත ඉන්න වෙලාවට වත්ත පිටිය සුද්ද කරන්න යන්නෙ නෑ කියන අදහසත් හිතේ තියාගෙන ම යි.

"දෝණිට එතකොට ගැඩවිල් භාෂාව කතා කරන්නත් පුළුවන් ද...?"

ආයෙමත් අප්පච්චිගෙන් සුංගිට ප්‍රශ්නයක්.

"භාෂාව කියන්නෙ මොකක් ද...?"

උත්තරයක් වෙනුවට සුංගිට පැහැදිලි කරල දීල කෙළවරක් කරන්න බැරි තවත් ප්‍රශ්නයක් හැරෙන තැපෑලෙන් ම අප්පච්චිට යොමු වුණා.

"අපි මේ කතා කරන්නෙ භාෂාවකිං තමයි... දැං මං මේ කියන වචන දෝණිට තේරෙනවනෙ... මං අහන්නෙ ඒ වගේ ගැඩවිල් අම්මා කියපු වචන දෝණිට තේරුණා ද කියල...?"

"හ්ම්ම්... තේරුණා... එයාලත් ඉතිං මේ වගේ ම තමා මට කතා කරේ... හැබැයි එයාලා අපි වගේ හයියෙන් කෑ ගහන්නෑ... ඒකයි අම්මටත් ඇහෙන්න නැතුවැත්තෙ... එයා දිහා ම බලාගෙන හොඳට අහගෙන හිටපු හින්දා තමයි මට ඇහුණෙ... ලොකු අයට එහෙම අහං ඉන්න වෙලාවක් නෑනෙ... හරියට වැඩනේ... සමහර වෙලාවට මං කොච්චර හයියෙන් කෑ ගහල කිව්වත් ඒවත් අම්මලට ඇහෙන්නෑ අප්පච්චි... අප්පච්චිටත් එහෙම තමයි..."

අප්පච්චි, අම්මා, අත්තම්මා තුන් දෙනා ම හිටියෙ තප්පරේකට ගල් ගැහිලා. කෙල්ලගෙ කතාවට තුන් දෙනාට ම මොකක්දෝ මහ අමුතු හැඟීමක් දැනෙන්න පටන් ගත්තා. තමන් සුංගිට මොන තරම් අවධානයක් දුන්නත් ඒ අවධානෙත් සුංගිට මදිවට දැනෙන වෙලාවල් ඕන තරම් තියෙනව කියන එකයි සුංගිගෙ කතාවෙන් තුන් දෙනාට ම තේරුම් ගියේ.

"අම්මටත් වැඩ ගොඩයිනෙ දෝණි... ඒවට හිර වුණාම අම්මට ඇහෙන්නැතුව ඇති තමයි දෝණිගෙ කතා..."

"හ්ම්ම්... ඒකට කමක් නෑ... එයාල ඉන්නවනෙ ඕන වෙලාවක මාත්තෙක්ක කතා කර කර ඉන්න... එයාලට හුඟාක් වැඩ නෑ... එයාලත් ආසයි මං එයාල එක්ක කතා කර කර ඉන්නවනං..."

"කවුද දෝණි එයාලා...?"

"ආ...  ඔයාලට ඉතිං ඇහෙන්නැතුවැතිනේ අපි කතා කරනව... මිදුලට ගියා ම ඒ ඉන්න හැමෝම මාත්තෙක්ක කතා කරනවා..."

"හ්ම්ම්... එහෙනං පාළු නෑ තමයි දෝණිට... කවුද ඉතිං ඔය හැමෝම...?"

"හුළඟ තමා හැම තිස්සෙ ම මා එක්ක ම ඉන්නෙ... අපේ මිදුලෙ, වත්තෙ ඔක්කොම ගස්, තණකොළ, කුරුල්ලො, ලේන්නු ඔය හැමෝම මා එක්ක කතා කරනව අනේ... අන්න අර මකුළු නංගිත් කතා කළා ටිකකට කලිං මා එක්ක...?"

"මකුළු නංගි...?"

"හ්ම්ම්... එයා නංගියක්... ළඟ දි තමයි එයාගෙ අම්මට එයාව හම්බුණේ... තව හුඟාක් අයත් එක්ක එයා එළියට ආවෙ දවසක් බිත්තරවලින්... එයාල එක එක තැන්වලට ගියා... නංගි මෙහෙ නැවතුණා... අම්ම දැන් ඉන්නෙ අපේ ඉස්සරහ කාමරේ සිවිලිමේලු..."

සුංගි මේ කතා හිතින් හදාගෙන බොරුවට කියනව ද එහෙමත් නැත්නම් මේ කතා කියන්නෙ ඇත්තට ම ද කියල හිතාගන්න බැරුව කට්ටිය ම හිටියෙ පටලැවිලා.

"ඉතිං... ටිකකට කලිං කතා කරපු වෙලාවෙ මොනව ද කිව්වෙ එතකොට ඔයාගෙ ඔය මකුළු නංගි...?"

"එයා චුට්ටි ම චුට්ටං සමනල් පැටියෙක් අල්ලගන්න යනව දැකල මමයි එයාට කතා කළේ..."

"ඉතිං... දෝණි බේර ගත්ත ද සමනල් පැටියව...?"

"නෑ..."

"ඇයි ඒ...?"

"එතකොට මකුළු නංගි බඩගින්නෙනෙ..."

"ඉතිං අර චුට්ටි ම චුට්ටං සමනල් පැටියත් පව්නෙ..."

"හ්ම්ම්... පව් නං තමයි... ඒ වුණාට මං දකිද්දිත් එයා මැරිලා... අනික ඉතිං මකුළු නංගිට අහුවෙන අහුවෙන අය මං බේරගන්න ගියොත් එයා හැම දා ම බඩගින්නෙ ඉඳල ඉඳල මැරිල යයි..."

"ඒකත් ඇත්ත... ඒත් මට නං දුකයි සමනල් පැටිය ගැන..."

අප්පච්චි එහෙම කියන්නෙ ඒ ගැන සුංගිගෙ අදහස මොකක්ද කියල දැන ගන්නත් හිතාගෙන. වෙලාවකට කෙල්ල හිතන පතන විදිහ ගැන අප්පච්චිලටත් පුදුමයි.

"එයා මොකට ද ඉතිං මේ ගේ ඇතුළට ඇවිත් මකුළු නංගිගෙ ගේ වටේ කැරකෙන්න යන්නෙ...? එයත් ඕන නැති තැන්වලනෙ යන්නෙ... මල් පැණි තියෙනවයැ අපේ ගෙයි බිත්තියෙ..."

කෙල්ලගෙ කතාවට කට්ටියට ම හිනා යන්න ආවත් ආයෙමත් කට්ටිය ඒ හිනාව හිර කර ගත්තෙ එහෙම හිනා වුණොත් කෙල්ල කියාගෙන ආපු කතා ඔක්කොම අතරමඟ නවතින බව දන්න හින්දා.

"සමනල් පැටියගෙනෙ වැරැද්ද... අනික මකුළු නංගි එතනට එන කෙනෙක්ගෙං බඩ පුරෝගන්නව මිසක් එළියට ගිහිං කන්න හොයං එන්නත් බෑනෙ එයාට... බත් කන්නත් බෑලු එයාට... මං දවසක් ඇහුවා... අපේ අම්මා අපි ඔක්කෝටම කන්න උයල දුන්නට මකුළු නංගිගෙ අම්ම දැං එයාට කෑම හොයල ගෙනත් දෙන්නෙ නෑ... අම්මා ඕනත් නෑ එයාටනං. ගේකුත් තනියම හදා ගත්ත එකේ කන්න හොයාගන්නත් පුළුවන්නෙ එයාට තනියම..."

"හරි ශෝක් යාළුවො ටිකක් තමයි දෝණිටත් ඉන්නෙ..."

අත්තම්මා කියන්නෙ සුංගිගෙ කතා ඔක්කොම අහගෙන ඉඳල කෑමත් කාලා ඉවර කරලා හීන් සීරුවෙ අතත් හෝදගන්න ගමන්. 

"දෝණි එයාල එක්ක කතා කරනව ඒ වුණාට මට කවදාවත් ඇහිල නෑනෙ දෝණි එක්ක ම හිටියත්..."

අම්මා යාන්තමට වගේ හිනා වේගෙන සුංගි දිහා බලල කියනවා.

"එහෙම හයියෙං කතා කරන්න බෑ අනේ එයාල එක්ක... හිමීට හිමීට කතා කරන්න ඕන..."

සුංගි කියන්නෙ ඔළුවත් කරකව කරකව අම්මගෙ මූණට ම එබීගෙන.

"අම්මා ඉතිං කෑ ගහගත්ත ගමන්නෙ නේද දෝණි...?"

අප්පච්චිත් හිනා වෙවී ම දෝණිගෙන් අහනවා. සුංගිත් ඇස් කොනකින් අම්මයි අත්තම්මයි දිහා බලලා මුකුත් ම නොකිය හිනා වෙනවා. 

"අප්පච්චි... මට හෙට හතරැස් පිඟානක් එපා..."

ඒ අස්සෙ සුංගිට ආයෙමත් පිඟන් කතන්දරේ මතක් වෙලා.

"ඒ පාර ඇයි එපා...? රවුං ඒව ලස්සන නෑ කිව්වෙ දැං ටිකකට කලිං..."

"ලස්සන වුණාට වැඩක් නෑනෙ අනික්වා... මුළුවල කෑම හිර වුණාම මට කන්නත් කම්මැලි හිතෙයි... ඒ හින්දා රවුං පිඟන් ම හොඳයි..."

"හ්ම්ම්..."

එහෙම කියාගෙන ම කෑම කාල ඉවර කරපු අප්පච්චිත් අත හෝදගෙන ඉඳගෙන හිටපු පුටුවෙන් නැඟිට්ටා. සුංගි හිටියෙත් කෑම කාල ඉවර වෙලා වතුර බොන ගමන්. ඒ අස්සෙ කෙල්ල දත් මිටි කනවා වගේ සද්දයක් ඇහිලා අප්පච්චි කෙල්ල දිහා හරි උනන්දුවකින් බලනවා.

"මොකද දෝණි...?"

"ඇයි අප්පච්චි...?"

"දත් ටික කට කට ගාන්නෙ... දත් මිටි කනව ද ඔයා...?"

"ආ... නෑ අප්පච්චි... මං මේ බැලුවෙ වතුරත් අපට බත් වගේ හපල කන්න බැයි ද කියල... හැපෙන්නෑ ඒ වුණාට..."

"අයියෝ සුංගියො..."

"ඇයි...?"

"වතුර ඉතිං හපල කන්න පුළුවනැයි... කෑමක්යැ වතුර කියන්නෙ බීමක්නෙ..."

"හ්ම්ම්... හොඳ වෙලාවට එහෙම වුණේ නේද අප්පච්චි...?"

"ඇයි ඒ...?"

"නැත්තං අපට බත් කාලා වතුරත් කන්නනෙ වෙන්නෙ... එතකොට කාල ඉවර කරන්න විදිහක් නෑ... අතුරුපස කනව වගේ... වතුර හැපෙන්නැති හින්ද අපට පුළුවන් බත් කාලා වතුර බිව්වම ඔන්න දැන් අපි බත් කාල ඉවර කළා කියන්න..."

"ඒකත් හැබෑව..."

ඒ පාර අප්පච්චි එහෙම කියල සුංගිවත් වඩාගෙන ම ගෙයි ඉස්සරහ පැත්තට ඇවිදගෙන යන්නෙ අම්මයි අත්තම්මයි කුස්සිය පැත්තට යන අතරෙ. 

"කොට්ටං ගහ යට බංකුවට වෙලා සිංදුවක් කියමු... මං ආ......සයි..."

ඒ යන අතරෙ සුංගි කියන්නෙ අප්පච්චිගෙ බෙල්ල බදාගෙන කෙල්ලගෙ මූණෙ එක පැත්තක් අප්පච්චිගෙ මූණෙ එක පැත්තකට තියල හයියෙන් ම තද කරන ගමන්.

ආයෙමත් මුණගැහෙමු ❤️❤️

Comments

Popular posts from this blog

ගැහැණියක් නොකියපු කතාවක් කෙටි කතාව

හොරකම කෙටි කතාව

කුඩය කෙටිකතාව