සුංගි 04
"අම්මෙ... පණ්ඩිතයි කියන්නෙ මොකක් ද...?"
අම්මගෙ දකුණු අතේ එල්ලිලා, බෙල්ලත් පැත්තකට හැඩ කරගෙන, අම්මගෙ මූණටත් එබීගෙන සුංගි අහන්නෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එන ගමන්. සුංගිලගෙ ගෙදර ඉඳන් ඉස්කෝලෙට මහා ලොකු දුරක් තිබුණෙ නැති හින්දා හැම දා ම සුංගියි, අම්මයි ඉස්කෝලෙට ආවෙ ගියේ පයින් ම යි. හැබැයි ඉතින් මහා ලොකු දුරක් නෑ කිව්වට හැතැප්ම භාගෙකට වඩා වැඩි දුරක් නම් සුංගිලගෙ ගෙදර ඉඳන් ඉස්කෝලෙට තිබුණා.
"හ්ම්ම්... අලුත් වචනයක් හොයාගෙන තියෙන්නෙ අද..."
අම්ම සුංගිට උත්තර දෙන්නෙ ලස්සන හිනාවකුත් මූණෙ තවරගෙන ම යි.
"පණ්ඩිතයි කියල කියන්නෙ දෝණි මොනව හරි දෙයක් ගැන හොඳට දැනුං තේරුං තියෙනව කියන එකට... හොඳ බුද්ධියක් එහෙම තියෙන අයට..."
"හ්ම්ම්... එහෙනං කමක් නෑ..."
සුංගි උත්තර දෙන්නෙ ලොකු කල්පනාවකුත් එක්ක කියල අම්මට හිතෙනව.
"ඇයි මැණික...?"
"ම්ම්හු... නිකං... මං හිතුවෙ ඒක නරක දෙයක් කියල... ඒකයි..."
"ඇයි දෝණිට එහෙම හිතුණෙ...?"
ඒ පාර නම් සුංගිගෙ අම්මගෙ හිතට පොඩි අමුත්තක් දැනුණා. සුංගිගෙ කතයි, වැඩයි, ප්‍රශ්නයි හින්ද හුඟාක් අය සුංගිව හඳුන්වල දුන්නෙ පණ්ඩිත ළමයෙක් විදිහට. හැබැයි ඒ අම්මා අර සුංගිට කියල දුන්න තේරුමෙන් ම නම් නෙමෙයි. සුංගි පණ්ඩිතයි කියන එකෙන් ඒ අය අදහස් කළේ වෙන ම කතාවක්. හුඟක් ආදරෙන් 'පණ්ඩිත කෙල්ල' කියල සුංගි දිහා බලපු, සුංගිව තේරුම් ගත්තු කිහිප දෙනෙකුත් හිටියා. ඒත් හුඟාක් අය සුංගිට පණ්ඩිතයි කියල කිව්වෙ උපහාසයක් වගේ හැඟීමකින්. දෝණි කොයි වෙලාවක හරි ඔය වචනෙ තේරුම ගැන අහයි කියලත් අම්ම කල් තියා ම දැනගෙන හිටියා. ඒත් ඉස්කෝලෙ ගිහින් ආපහු එන ගමනෙ හදිස්සියෙ ම එහෙම සුංගි අහපු එක ගැන අම්මගෙ හිතේ තිබුණෙ කුහුලක්.
"ටීච එහෙම කිව්වෙ කට පැත්තකට කරල මට හිනා වෙලා... නිකන් තරහෙන් වගේ... ඒකයි..."
සුංගි ගාණක් නැතුව උත්තර දෙනවා. අම්ම මෙච්චර වෙලා හිතාගෙන හිටියෙ, කවුරු ම හරි ඉස්කෝලෙ ළමෙක් සුංගිට පණ්ඩිතයි කියල විහිළුවක් කරල ඇති යි කියල. ඒත් සුංගිගෙ උත්තරෙන් පස්සෙ අම්මගෙ හිතේ හීනියට වගේ රිදුමක් ඇති වුණා.
"ටීච මොනව ද කිව්වෙ මැණික...?"
"වයසෙ හැටියට නෙමෙයි පණ්ඩිතකම කිව්වා... ටීචට උත්තර දෙන්නයි, හරස් ප්‍රශ්න අහන්නයි එන්නැතුව කියන දේ අහගෙන කියන වැඩේ කරල කට පියං ඉන්න කිව්වා... එතකොට මං හිතුවෙ පණ්ඩිත කියන්නෙ නරක දෙයක් කියල..."
"අනේ නෑ මැණික... පණ්ඩිතයි කියන්නෙ හොඳට දැනුං තේරුං තියෙනව කියනෙකට තමයි... ඒකයි ටීච දෝණිට කියන්න ඇත්තෙ..."
"හ්ම්ම්... ඒක තමා මට ප්‍රශ්න අහන්නත් එපා කියන්න ඇත්තෙ... මං ඔක්කොම දන්නවයි කියල හිතලා..."
"හ්ම්ම්... ඒක තමයි... දෝණි හුඟක් දේවල් දන්නවනෙ... තනියම ම ඉගෙන ගෙනත්නෙ තියෙන්නෙ... ඒ හින්ද වෙන්නැති මැණික..."
හිතේ පුංචි කලබලයක් ඇති වෙලා තිබ්බත් සුංගිගෙ හිත කලබල නො වෙන විදිහට අම්මා සුංගිට උත්තරයක් දුන්නා.
"ඒ වුණාට මට එහෙම ඉන්න බෑනෙ..."
"කොහොම ද දෝණි...?"
"ප්‍රශ්න අහන්නැතුව... ටීච හුඟක් ඒව බාගෙට ම යි කියල දෙන්නෙ... ඉතිං ප්‍රශ්න අහන්නැතුව කොහොම ද ඉතුරු ටික දැනගන්නෙ...?"
"ඒකත් ඇත්ත... ඒ වුණාට ටීචට හැමෝම මැද්දෙ දෝණිට උත්තර දෙන්න වෙලාව මදි ඇති මැණික... ඒකයි එහෙම කියන්න ඇත්තෙ... අනික් දවසෙ ඒ ප්‍රශ්න ඔක්කොම හිතේ තියාගෙන ඉඳල දෝණි ගෙදර ආවම අපෙන් අහන්න... අපි කියල දෙන්නං ඔක්කොම ටික..."
"හ්ම්ම්... ඒ වුණාට ඒ වෙලාවෙ ම අහගන්න තිබ්බ නං තමයි හොඳ..."
"ඒ ඇයි...?"
"නැත්තං ඔක්කොම තේරෙන්නෙ බාගෙට... මං මට ආපු ප්‍රශ්න ගැන කල්පනා කර කර ඉද්දි ටීච ඔක්කොම උගන්නලත් ඉවර කරලා..."
"අයියෝ අයියෝ... ඒකත් ප්‍රශ්නයක් තමයි ඉතිං... දෝණි පුළුවන් ටික අහන් එන්න... ප්‍රශ්න ටික අපි ගෙදර ඇවිත් විසඳගම්මු..."
අම්ම කියන්නෙ සුංගිට දෙන්න වෙන විසඳුමක් ඔළුවට නාව හින්දා. ගෙදර ගියා ම කලින්ටත් වඩා දෝණිගෙ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න ඕන කියලත් ඒ මොහොතෙ අම්ම තනියම හිතින් හිතනවා. ඒ එක්ක ම මෙච්චර කාලෙකට ඇති නො වුණු අපැහැදීමක් සුංගිගෙ පන්තියෙ ගුරුතුමිය ගැන ඇති වෙන ගතියකුත් අම්මගෙ හිතට දැනෙන්න ගත්තා. ඒ හැඟීම ඕනකමින් ම යටපත් කරල දාන්න උත්සාහ ගත්තත් ඒ වෙලාවෙ සුංගිගෙ අම්මට ඒක කරගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ.
සුංගි තාමත් පළවෙනි වසරෙ. තාමත් පෙර පාසලෙන් ඉස්කෝලෙට ගිහිල්ලා ලොකු කාලෙකුත් නෑ. කවදාකවත් පෙර පාසලේ දි සුංගි හිතන පතන විදිහ, කරන කියන දේවල් ඒ ගුරුවරුන්ට කරදරයක් වෙලා තිබ්බෙ නෑ. සුංගි අනික් දරුවන්ට වඩා හුඟාක් දේවල් ඉක්මනින් තේරුම් ගන්න එක, වෙනස් විදිහට හිතන පතන විදිහ ගැන ඒ ගුරුවරු සුංගිගෙ අම්මා, අප්පච්චි එක්ක පවා හැමදාමත් කතා කළේ ලොකු සතුටකින්. සුංගිගෙ කතාවලට ඇහුම්කන් දෙන්නත් ඒ ගුරුවරු හුඟක් කැමැත්තෙන් හිටියෙ. ඒ හින්ද ම සුංගි හැමදාමත් පෙර පාසලට ගියෙත් ලොකු සතුටකින්.
ඒත් පාසලේ දි සුංගිට මොකක් හරි නො සලකා හැරීමක්, ප්‍රතික්ෂේප වීමක් ගුරුවරියගෙන් වෙනව ද කියනෙක ගැන අම්මගෙ හිතේ ඒ මොහොතෙ පොඩි කුකුසක් ඇතිවෙන්න පටන් ගත්තා. මොකද සුංගි අද කතා බහ කරන විදිහෙ පවා සුංගිගෙ අම්මට දැනෙන්නෙ අමුත්තක්.
"අපරාදෙ..."
කතාවක් නැතුව ම ටික දුරක් ඇවිදගෙන ගිය සුංගි එක පාරට ම කියනව.
"මොකක්ද දෝණි අපරාදෙ...?"
"ඉස්කෝලෙ යන එක..."
"ඉස්කෝලෙ යන එක කොහොම ද මැණික අපරාදයක් වෙන්නෙ...? ඉස්කෝලෙ නොයා අපි කොහොම ද ඉතින් දේවල් ඉගෙන ගන්නෙ...?"
"ඒ වුණාට ටීච බාගෙටනෙ කියල දෙන්නෙ... ප්‍රශ්න අහන්නත් එපාලු... අම්මත් කිව්වෙ ගෙදර ආවම කියල දෙන්නං කියල... ඉතිං ගෙදර ඉඳම්ම ඔක්කොම අහගත්ත නං ලේසියිනෙ..."
සුංගිගෙ උත්තරවලට දෙන්න ප්‍රති උත්තර අම්මගෙ ඔළුවට එන්නෙ නෑ. ඒ හින්දා අම්මත් නිහඬව ම හිටියෙ මේ වෙලාවෙ හැටියට හොඳ ම උත්තරේ තමයි ඒක කියල හිතුණු හින්දා. ඒත්, ඉක්මනින් ම සුංගිගෙ අත්තම්මයි, අප්පච්චියි එක්ක මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න ඕන කියල තීරණේකුත් සුංගිගෙ අම්මා ඒ එක්ක ම හිත ඇතුළෙන් ගත්තා.
"මං ආසත් නෑ මෙහෙම ඉස්කෝලෙ යන්න..."
"හා හා... ළමයි ඉස්කෝලෙ යන්න නං කම්මැලි වෙන්න හොඳ නෑ හොඳේ... හ්ම්ම්... කොහොම ඉස්කෝලෙ යන්න ද දැං දෝණි ආස නැත්තෙ..."
"බෙල්ලෙන් මේං මෙහෙම ටයි එකක් හිර කරං... බඩ මැද්දෙන් පටියකුත් තද කරං... ඒ මදිවට සපත්තුයි මේසුයිත් දාලා... හරි ම අමාරුයි... ගෙදර හිටියනං ඒ මුකුත් නැතුව අත්තම්මත් එක්ක මට හැම දේ ම අහගෙන ලේසියෙන් ම ඉගෙන ගන්න තිබ්බා..."
"හ්ම්ම්... ඒ වුණාට අපි ඉස්කෝලෙත් යන්න ඕනනෙ දෝණි... අමාරු දේවල් කරන්නත් අපි පුරුදු වෙන්න එපැයි..."
"ඒ වුණාට ඉතිං ලේසියෙම් ම කරන්න පුළුවන් විදි තියෙද්දි ඇයි ඒව අමාරුවෙන් අමාරුවෙන් කරන්නෙ...? අපට සෙරෙප්පු දාං යන්න දුන්න නං ශෝක්... පුටුවෙන් ඉඳගත්තම ඕන්නං ගලෝලත් ඉන්න පුළුවන්... මං නං ආස ම එහෙම... ගවුම නං කමක් නෑ... ඇයි අම්මෙ බෙල්ලත් එක්ක හිර කරල පටියක් බඳින්නෙ...?"
සුංගි කියන සමහර දේවල් මොන තරම් ඇත්ත ද කියල සුංගිගෙ අම්මත් කල්පනා කරනවා. ඒත් තියෙන රටාව ඇතුළට සුංගිවත් රිංගව ගන්න, තේරුමක් නැති සමහර දේවලුත් සුංගි ඉස්සරහ සාධාරණීකරණය කරන්න අම්මට සිද්ධ වෙලා.
"හැමෝම එක විදිහකට ඉස්කෝලෙ ගියාම ලස්සනයිනෙ මැණික... අනික එතකොට කාටවත් කාගෙවත් වෙනසක් දැනෙන්නෑ... හැමෝම සුදු ගවුම ඇඳන් ගියාම පෝසත් අයගෙයි දුප්පත් අයගෙයි කාගෙවත් ම වෙනසක් නෑනෙ... නැත්තං පෝසත් අය ලස්සන ලස්සන පාට පාට ඇඳුං ඇඳන් එද්දි එහෙම ඇඳගෙන යන්න නැති දුප්පත් ළමයින්ට දුක හිතෙනවනෙ මැණික..."
"හ්ම්ම්... ඒකනං හොඳයි තමයි..."
සුංගි කියන්නෙ ලස්සන හිනාවකුත් දාලා. ඒ හිනාව දැකල නම් අම්මගෙ හිතටත් ලොකු සැනසීමක් දැනුණා.
"ඒ වුණාට ඉතිං අම්මෙ ඇඳුමෙං ඔක්කොම කරන්න බෑනෙ... එයාල පාට පාට ලස්සන ලස්සන බෑග් ගේන්නෙ... එක එක බෝතලුයි කෑම පෙට්ටියි ගේන්නෙ... කන්න ගේන්නෙත් එක එක කෑමනෙ... පාට පාට ලස්සන පැන්සල් පෙට්ටි එහෙමත් ගේනවා... ශෙනායගෙ ඔක්කොම පොත් රට පොත්ලු... ගොඩක් තියෙනව එයා ගාව. ඒ වුණාට දැහැමිට අලුත් පැන්සලක්වත් ගන්න විදිහක් නෑලු... ශෙනායමයි කිව්වෙ දැහැමිල දුප්පත් හින්ද හැම දා ම කැත පැන්සල් කොටේකිං තමා ලියන්නෙත් කියල..."
"අනේ..."
"මං ඉතිං ශෙනායට හොරෙං මගෙ අලුත් ම පැන්සල දැහැමිට දුන්නා... ශෙනායට එහෙම කියන්න බෑනෙ එතකොට... ඒත් දැහැමි ඒකත් ගත්තෙ බයෙං බයෙං... ඒ වුණාට ඉතිං ශෙනායා වගේ ම සුදු ගවුම ඇඳං ටයි එක දාං ආවට දැන් ඔක්කෝමල දන්නව දැහැමිල දුප්පත් කියල..."
හැම වෙලාවක ම වගේ ඒ මොහොතෙත් සුංගි කතාව ඉවර කළේ අම්මව නිරුත්තර කරලා. මේ අදහස් කොහෙන් සුංගිගෙ ඔළුවට එනව ද කියල අම්මා ඒ මොහොතෙත් කල්පනා කරනවා.
"ඔන්න ඉතිං ගෙදෙට්ටත් ආව අපි... මහන්සි ද දෝණිට...?"
"නෑ... දැන් ශෝක්... ඉස්කෝලෙට ගියාම තමා මහන්සි... පුටුවට ම වෙලා ඉඳං ඉන්න ගියාම එපා වෙනව. ටීච එළියට අරං ගියත් පෝළිමේ ගිහිං අපි පේළියට සීරුවට හිටං ඉන්න ඕන... හැබැයි ඉන්ටවල් එකට නං ඔන්න ශෝක්..."
"අනේ කෙල්ලෙ... එහෙම තමා... නැටිල්ල ම හරියන්නෑ හැම වෙලාවෙ ම... පිළිවෙලට වැඩක් කරන්නත් පුරුදු වෙන්න ඕන... යං ද පොඩ්ඩක් අපි බංකුවට ගෙට යන්න කලිං...?"
අම්මා කොට්ටං ගහ යට බංකුව දිහා බලල සුංගිගෙන් ඇහුවෙ පුංචි දේකුත් හිතේ තියාගෙන ම යි.
"හා..."
කෙල්ල කෑ ගහගෙන, මල් මල් හිනාවකුත් දාල අම්ම දිහා බලන්නෙ උතුරල පිටාර ගලන තරම් සතුටකින්. ඒ එක්ක ම පොත් බෑග් එක ගෙට ඇතුළු වෙන තැන ම තියෙන පුටුව උඩින් තියලා, ගලවපු ටයි පටියත් බෑග් එක උඩින් ම තියල, එක තප්පරේට ගළවගත්තු සපත්තු දෙකයි, මේස් දෙකයිත් අව්වට දාල, සුංගි කොට්ටං ගහ යට බංකුව දිහාවට දුවන්නෙ අත්තම්මටත් කෑගහන හමන්.
"අත්තම්මේ... අපි ආවෝ..."
කරේ දාගෙන හිටපු අත් බෑග් එක, දෝණි පොත් බෑග් එක තියපු පුටුව උඩින් ම තියල අම්මත් සුංගිගෙ පස්සෙන් හෙමි හෙමීට ගිහින් බංකුව උඩින් ඉඳගන්නවා. කොට්ටං ගහේ හෙවන යට හින්දා එතන කොහොමටත් තිබුණෙ හරි සිහිල් ගතියක්.
"ඉතිං දෝණි... ටීච ඇයි අද අපේ මැණිකට පණ්ඩිතයි කියල කිව්වෙ...?"
කොහොම කොහොම හරි සුංගිගෙ අම්මා අන්තිමේ හිතේ හිර කරගෙන හිටිය ප්‍රශ්නෙ හීන් සීරුවෙ සුංගිගෙන් ඇහුවා.
"අකුරු ලියන්න ගිහිං..."
සුංගි කියන්නෙ බංකුවෙ ඉඳ ගත්ත ම බිමින් තියන්න තරම් දිග නැති කකුල් දෙකත් හෙමි හෙමීට පද්දන ගමන්.
"හ්ම්ම්... මොකද වුණේ ඉතිං අකුරු ලියන්න ගිහින්...?"
"ම අකුරයි, ට අකුරයි අද ලිව්වෙ...ටීච කිව්ව මං ලියනව වැරදියි කියල..."
"වැරදියි කියල...?"
අම්මත් එක පාරට ම එහෙම ඇහුවෙ සුංගි මොන්ටිසෝරි යන කාලෙ ඉඳන් ම සිංහල හෝඩියෙ හැම අකුරක් ම වගේ හරි ලස්සනට ලියන හින්දා.
"හ්ම්ම්..."
"ඇයි ඒ...?"
"මං අද ඒ අකුරු දෙක තව විදිහකට ලියල බැලුවා... ඒ විදිහ ශෝක්..."
"මොකක් ද අප්පේ අලුත් විදිහ...? අකුරු දෙක වෙනස් කළා ද දෝණි...?"
අම්ම අහන්නෙ සුංගි මොනව කරල ද කියල හිතාගන්න අමාරු වුණ හින්දා.
"අකුරු ඉතිං එහෙම වෙනස් කරන්න බෑනෙ..."
"ඒකනෙ... එහෙනං මොකක් ද කළේ දෝණි...?"
"ටීච 'ම' අකුර පටන් ගන්නෙ අර මැද්දෙ තියෙන චූටි බිංදුවෙන්නෙ... මං ඉතිං එකක් එහෙම ලියල අනික් ටික ටීච 'ම' ඉවර කරන තැනින් පටං අරං මැද්දෙ අර චූටි බිංදුවෙන් ඉවර කළා... අනික් අකුරත් එහෙම කළා... අග ඉඳං මුලට ලිව්වෙ..."
"හපොයි දෝණි..."
"ඇයි එතකොට වැරදි ද...? ටීචත් කිව්වෙ වැරදියි කියල..."
"ටීච ඉතිං අකුර ලියන හරි ම විදිහට තමයි දෝණිට ලියන්න කියල දීල තියෙන්නෙ... ඒකයි... ටීචට මොනව ද කිව්වෙ දෝණි...?"
"ට අකුර ලියද්දි තමා ටීච ඒක දැකල වැරදියි කිව්වෙ... ම අකුර ලිව්ව වෙලාවෙ පොතත් උස්සල හැමෝටම පෙන්නුව ලස්සන ම ලස්සනයි කියල... ටීච වැරදියි කිව්වම ඉතිං මං කිව්ව මං කලිං 'ම' අකුර ලිව්වෙත් ඒ වගේ අග ඉඳං මුලට තමයි කියල..."
"ඉතිං...?"
"ඉතිං එහෙම ලියන්න බෑ වැරදියි කිව්වා... මං කිව්ව ඉතිං කොහොම ලිව්වත් එක වගේනෙ ටීච කියල... ලිව්වට පස්සෙ පටං ගත්ත තැන හොයන්න බෑනෙ කියල... එතකොට තමයි කිව්වෙ වයසෙ හැටියට නෙමෙයි පණ්ඩිතකම කියල..."
"හ්ම්ම්... දෝණි ඉතිං කෝකටත් කියල ඊළඟ දවසෙ ඉඳං ටීච කියන විදිහට ම ලියන්න..."
"ඒ වුණාට මං ආස එක එක විදිහට ලියල බලන්නනෙ..."
"හ්ම්ම්... නිකන් ඉන්න ගමන් දෝණි ඉතිං එහෙමත් ලියල බලන්න... ඉස්කෝලෙ දි ටීච කියන විදිහට ම ලියන්න... එතකොට හරි... අපි දන්නවනෙ දෝණිට කොයි විදිහටත් ලියන්න පුළුවන් කියල..."
"හ්ම්ම්... ඒ වුණාට අග ඉඳන් මුලට ලියන්න තමා මං ආස ම... එහෙම ලියද්දි හරි ශෝක්... ඉතිං අම්මෙ පොත්වල අනික් අය කොයි විදිහට පටන් අරං ලිව්ව ද කියල අපි දන්නෙත් නෑනෙ...? එහෙම හොයන්න පුළුවන් ද...?"
"එහෙම හොයන්න නං අමාරුයි දෝණි... ඒ වුණාට අපි හරි ම විදිහට ලියන විදිහ දැනගන්න ඕනනෙ මැණික..."
අම්මා ආයෙමත් හරි පරිස්සමට වචන ගැළපුවා.
"හ්ම්ම්... කවුද අම්මෙ ඒ හරි ම විදිහ හොයං තියෙන්නෙ...? මං නං ආස ලේසි ම විදිහට කරන්න... අග ඉඳන් ලිව්ව කියලත් වෙනසක් නෑනෙ... ටීච හොයා ගත්තෙත් මං ලිය ලිය ඉන්නව දැකලනෙ..."
"හ්ම්ම්... ඒක හොයා ගත්ත කෙනා අපි පස්සෙ හෙමීට හොයල බලමුකො දෝණි... අම්මට නං මහන්සියි දැං... යං ද අපි ගෙට...? අන්න අත්තම්මත් එනව අපි මොකෝ තාම ගෙට නාවෙ කියල බලන්න වෙන්නැති..."
"හ්ම්ම්... ලොකු වුණාම අපි කොච්චර ලස්සනට අකුරු ලියන්න පුරුදු වෙලා තිබ්බත් වැඩක් නෑ නේද...?"
ගේ පැත්තට යන්න බංකුවෙන් බිමට පැනලත් සුංගිගෙන් ආයෙමත් ප්‍රශ්නයක්.
"ඇයි ඒ...?"
"අප්පච්චි එහෙම දැන් අකුරු ලියන්නෙ ම නෑනෙ පෑනකින්... කම්පියුටරේට ඇන ඇන ඒකෙන්මනෙ ලියන්නෙ... ඉතිං ඒකට අපි ඒක ඔබන්න ඉගෙන ගත්තත් ඇතිනෙ... ඒකයි..."
"හ්ම්ම්..."
එච්චරක් විතරක් කියල කිසි ම උත්තරයක් නොදී ම අම්මා සුංගිවත් වඩාගෙන ම ගේ පැත්තට පය ඉක්මන් කළා.
ආයෙමත් මුණගැහෙමු ❤️❤️

Comments
Post a Comment