සුංගි 05




"අනේ මන්දා නිලූ අපේ රටවල්වල ළමයින්ට උගන්නන විදිහ නං... අපිටත් නොපෙනෙන ලොකු ඇත්තක් දෝණි අපට මේ පෙන්නන්නෙ... අකුරු අග ඉඳං මුලට ලිව්වත් මුල ඉඳං අගට ලිව්වත් ලියවෙන්නෙ වෙනසක් නැතුව එක ම අකුර නං ආයෙ මොන ප්‍රශ්නයක් ද...? අකුරු කියන්නෙ අපි ම අදහස් ප්‍රකාශ කරගන්න හදාගත්තු සංකේත ටිකක් වෙච්චකොට..."

සුංගිගෙ අම්මා දිහා බලාගෙන සුංගිගෙ අප්පච්චි කියන්නෙ හරි බැරෑරුම් හඬකින්.

"ඒක නං එහෙම තමයි... ඒත් ගුරුවරුන්ට කියල තියෙන විදිහට ඒ වැඩ ටික කරන්න එපැයි ධනූ... නැත්තං අන්තිමට ගුරුවරුයි වැරදි..."

"ඒක හරි... දැං ඔයාගෙ පන්තියෙ ළමෙක් ඒ විදිහට අකුරු ලිව්ව නං ඔයත් ඒක ම ද කරන්නෙ...?"

"අනේ... පිස්සු ද ධනූ... ඒක ඒ ළමයට තේරුං කරන විදිහක් තියෙනවනෙ එයාටත් නොදැනෙන්න... හිතත් නොරිදෙන්න..."

"හ්ම්ම්... අන්නේකයි මං කියන්නෙ... වයසට නෙමෙයි පණ්ඩිතකම කියල ළමයට ඇහෙන්න කිව්වම මොකක්ද නිලූ ඒ ළමයගෙ මානසිකත්වෙට වෙන්නෙ...? අපේ සුංගි තාම හරියට ඒකෙ තේරුම නොදන්න හින්ද හොඳයි... ඒත් එයාට වුණත් තේරිල තියෙනවනෙ ඒක ටීච කිව්වෙ එච්චර හොඳ හිතකින් නෙමේ කියල... නැත්තං ඔයාගෙන් අද ඔහොම ප්‍රශ්නයක් කීයටවත් අහන්නෑනෙ..."

"හ්ම්ම්... ඒක නං මාත් කල්පනා කළා ධනූ... ටීචට ම දොස් කියන්නත් බෑ... අනික ගුරුකම කියන්නෙත් බලෙං ඇඟට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි... අපේ බඩ්ඩත් ඉතිං අහන්නෙ ලේසි පාසු ප්‍රශ්න නෙමෙයිනෙ... ඒක ටීචට වදයක් වගේ දැනෙනවත් ඇති..."

"ඒක ඉතිං එයාට එහෙම දැනෙනව නං එයා වෙන රස්සාවක් තෝරගන්න ඕන ඕක නොකර... අවුරුදු පහක හයක ළමයෙක්ගෙ මනස තේරුං ගන්න බැරි නං එයාට එකේ පන්තියෙ ළමයින්ට උගන්නන්න පුළුවන්කමක් නෑනෙ..."

"ඔයාට තරහ ගිහිං... අපි ටීචගෙ පැත්තෙනුත් හිතන්න ඕනනෙ ධනු... අපට මෙතන ගෙදර දි කන්ට්‍රෝල් කරගන්න තියෙන්නෙ මෙයා විතරයි... ඒත් ටීච ඉස්කෝලෙ එයාගෙ පන්තිය ඇතුළෙ ළමයි තිහ හතළිහක් එක්ක එපැයි එතන හැම වැඩක් ම කර ගෙන යන්න..."

සුංගිගෙ අම්මා උත්සාහ ගන්නෙ අප්පච්චිගෙ තරහව පුළුවන් තරමින් පාලනය කරගන්න.

"ඒත් නිලූ ඔය විදිහට ළමයි හිතන පතන එක පවා රාමු කරල, කොටු කරල, සීමා කරල කොහොම ද අනාගතේට බුද්ධිමත් ළමෙක් හදන එක කරගන්නෙ ඉස්කෝලෙකින්...?ඒ ළමයව එතන ම මොට කරනවනෙ... සුංගි කියන්නැහෙ ඉස්කෝලෙ යන එකත් අපරාදයක් තමයි එහෙම බලනකොට..."

"හ්ම්ම්... සුංගිත් ඉස්කෝලෙ ගමනට දැන් දැන් අදි මදි කරනව ධනූ... ඒකයි මට බය... එයා අපි එක්ක වුණත් කියන්නෙ වෙන දේවල්වලිං බාගයයි කියල මට හිතෙන්නෙ..."

"හ්ම්ම්... අපි තවත් එයාට ළං වෙන්න ඕන නිලූ... එයා අනික් ළමයින්ට වඩා වෙනස් නෙමෙයි... බුද්ධිමත්... විමර්ශනශීලියි... ඒකයි ප්‍රශ්නෙ... කවුරුවත් කිව්ව පළියට ම දෙයක් පිළිගන්න එයා කැමති නෑ... ඒකයි එයා අපිව ප්‍රශ්න කරන්නෙ... මතකනෙ පිඟානෙ කතාව...? ලිස්සල යන උත්තර බෑ... එයාට සාධාරණයි කියල හිතෙනව නං තමයි එයා පිළිගන්නෙ... ඒ වුණාට නිලූ ඒක එයාගෙ විතරක් නෙමෙයි..., හැම පුංචි ළමයෙක්ගෙ ම හැටි... එයාල එහෙමයි... අපි මෙහෙ දෝණිට ඇහුම්කන් දෙනව... එයාගෙ ප්‍රශ්නවලට අපිත් උත්තර හොයනව... කවදාවත් එයාව නවත්තල නෑනෙ අපි... ඒත් හුඟක් ගෙවල්වල දි වැඩිහිටියන්ගෙ වැඩ වැඩි වීමත් එක්ක ළමයිගෙ ඔය ගතිය නැතිවෙලා යනවා... ප්‍රශ්නයක් ඇහුවම කට වහං ඉන්න කියල බයිනවා... ළමයට සාධාරණ උත්තරයක් නෑ... අපි මහා ලොකුවට නොහිතුවට ඒක ඒ ළමයිට දැනෙන්නෙ ලොකු නොසලකා හැරීමක් විදිහට... උන් එතන ම නවතිනව... ආයෙ ප්‍රශ්න කරන්නෑ... නොදන්න දේ හොයාගෙන යන්නෑ... හෙව්වත් ඒ හොයන්න උත්සාහ කරන්නෙ තනියම... මොකද පුංචි එවුං හරි අකමැතියි නිලූ ප්‍රතික්ෂේප වෙන්න..."

"හ්ම්ම්... ඇත්ත..."

"එහෙම කරල උන්ව හැදීගෙන එනකොට ම මොට කරල දාල පස්සෙ අපේ මහ උන් ම කෑ ගහනව දැන් ඉන්න ළමයි නිර්මාණශීලි නෑ කියල... හිතල දෙයක් කරන්න බෑ කියල... උන්ට ඕන කාලෙ උන් හොයන මූලික දැනුම නොදුන්නම හරි පදනමක් නැතුව උන් කොහෙ නිර්මාණශීලී වෙන්න ද...? ඕන කාලෙ උන්ව කාල දාල පස්සෙ උගන්නන්න කියල හතර වටේ ටියුෂන්වල ඇදං යනව... උන් ඉතිං මගිං පටං අරං තට්ටු ගෙවල් ගහන්න ගිහිං අත්තිවාරම හයිය නැතුව හිතාගන්න බැරි වෙලාවක ආයෙත් මහ පොළොවට ම සමතලා වෙනව..."

සුංගිගෙ අප්පච්චි ඉන්නෙ තරහකටත් වඩා ලොකු වේදනාවකින් කියල යි සුංගිගෙ අම්මට හිතෙන්නෙ. නැත්නම් සුංගිගෙ අප්පච්චි මේ තරමට කියවන කෙනෙක් නෙමෙයි කියල අම්මා හොඳට ම දන්නවා.

"හ්ම්ම්... අපේ දෝණිට එහෙම වෙන්න දෙන්න බෑ ධනූ... ඒකයි මං ඔයා එක්ක කතා කරන්න හිතුවෙත්... ගමේ ඉස්කෝලෙට කෙල්ලව දාගෙනත් අපි බලාපොරොත්තු වෙන දේ නොලැබිච්ච එක ගැන හරි දුකක් මටත් තියෙන්නෙ... මං කල්පනා කළේ කෙල්ලව මෙහෙං අස් කරල වෙන ඉස්කෝලෙකටවත් දානව ද කියල..."

ඇත්තට ම සුංගිලගෙ අම්මයි, අප්පච්චියි, අත්තම්මයි තුන් දෙනා ම සුංගිව ගමේ ඉස්කෝලෙට ම දාමු කියන තීරණේ ගත්තෙ සුංගිට නිදහසේ ඉගෙන ගන්න පරිසරයක් හදල දෙන්න හිතාගෙන. ටවුමෙ ඉස්කෝලෙ ඒ පළාතෙ ම ප්‍රසිද්ධ වෙලා තිබ්බෙ, එකේ, දෙකේ පන්තියෙ ඉඳල ම අසීමාන්තික ව පොඩි එවුන්ව ශිෂ්‍යත්ව විභාගෙ වෙනුවෙන් හෙම්බත් කරවන ඉස්කෝලයක් විදිහට. ඒ හින්ද ම හුඟක් දෙමව්පියන් අතරෙ ලොකු තරගෙකුත් තිබ්බා තමන්ගෙ දරුවන්ව ඒ ඉස්කෝලෙට කොහොම හරි විදිහකින් ඇතුළු කරගන්න. ඒත් පුංචි කාලෙ ඉඳන් ම විභාගයක් වෙනුවෙන් සුංගි හෙම්බත් නො විය යුතු යි කියන මතේ සුංගිලගෙ ගෙදර හැමෝම හිටියා. ළමයට කැමති විදිහකට නිදහසේ ඉගෙන ගන්න වටපිටාව හදල දෙන්නයි ඒ හැමෝට ම ඕන වුණේ.

එහෙම තීරණයක් මත ගමේ ඉස්කෝලෙට ඇතුළත් කරලත් එතනත් සුංගිට ඕන කරන නිදහස නෑ වගේ කියල දැනෙද්දි සුංගිගෙ අම්මගෙ හිතේ ඉපදිලා තිබුණෙ කියාගන්න බැරි විදිහෙ කලකිරීමක්.

"අතීසාරෙට අමුඩෙ මාරු කරල හරියන්නෑනෙ නිලූ... අපි තව ටිකක් බලමුකො... සුංගි ඔය කොයි දේටත් හැඩ ගැහෙයි කියල විශ්වාසයක් මට තියෙනව... ප්‍රතිකේෂ්ප වීමක් දරාගන්න තරං හයියකුත් අපේ කෙල්ලට තියෙන්න ඕනනෙ... ඉස්කෝලෙන් කෙල්ලට අඩුවක් වෙනවනං ඒ අඩුව අපි ගෙදර දි හරි පුරෝමු..."

"හ්ම්ම්..."

"දෝණිට ඒ දේවල් හුඟක් ම ලොකු ප්‍රශ්නයක් වගේ නං විතරක් අපි වෙන තීරණේකට යමු... කෝ දැං...?"

"අම්මත් එක්ක වත්ත පල්ලෙහට ගියේ..."

"මේ කළුවරේ...?"

"හ්ම්ම්... ඒ වැඩේට එළිය තියෙන වෙලාවක් හරියන්නෑ කිව්වා... අම්මත් එක්ක ගිය හින්ද මාත් ඉතිං හාරවුස්සන්න ගියෙ නෑ... එයාට කොහොමත් වත්තෙ පිටියෙ හරි හරි වැඩ තියෙනවනෙ..."

හිතේ තිබුණු හැම බරක් ම අයින් කරගෙන සුංගිගෙ අම්මා හරි සැහැල්ලුවෙන් හිනා වුණා.

"මේ ගැන ඔයා එක්ක කතා කරාට පස්සෙ මගෙ හිතට සැහැල්ලුයි... හවස් වරුව ම මං හිටියෙ මොකක් කරන්න ද කියල හිතාගන්න බැරුව... මගෙ කෙල්ල පණ්ඩිත කෙල්ලෙක් කියල හැමෝම පැත්තකට කරන්න හදනෙක මගෙ හිතට දරාගන්න ටිකක් අමාරුයි..."

"ඒ ගැන ලොකුවට හිතන්නෙපා නිලූ... ඒක අපට ප්‍රශ්නයක් නෙමේ නං වෙන කාටවත් ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑනෙ... අපේ දෝණි පණ්ඩිතයි පණ්ඩිතයි කියල හංවඩු ගහන උදවිය බලන්න එපැයි ඒ උදවියගෙ පොඩි උන් පොඩි පැහිච්ච කතාවක් කිව්වම ඒ ගැන මාර ආඩම්බරේකිං වර්ණනා කරන උජාරුව... මිනිස්සුන්ගෙ හැටි එහෙමයි නිලූ... ඕක උපහාසෙ ම නෙමෙයි... තුන් කාලක් විතර ම තියෙන්නෙ ඊරිසියාව... ඒක දැනං අපි ජීවත් වුණාම ඉවරයි..."

"හ්ම්ම්..."

"ආහ්... මේ... රෑ කෑම ලෑස්ති කරනෙක පොඩ්ඩක් ඉක්මං කරන්න වෙයි අද... මියුසිකල් ශෝ එහෙකට යන්න තියෙනව..."

"මියුසිකල් ශෝ එහෙකට...?"

සුංගිගෙ අම්මා ඇස් දෙකත් නළලෙ තියාගෙන අප්පච්චිගෙ මූණට එබුණෙ පුදුමෙකින් වගේ.

"හ්ම්ම්... වැඩි දුරක නෙමේ... දෝණි ම තමා අපිව එක්කං යන්නෙ..."

"ආ... එහෙනං හරි ඉතිං... පුංචි පහේ ශෝ එකක් වෙන්න බෑ දෝණි නං එක්කං යන්නෙ..."

හිනා වෙවී ම එහෙම කියල අම්මා කුස්සිය පැත්තට ගියේ රෑ කෑම ලෑස්ති කරන වැඩේ ඉක්මන් කරන්න හිතාගෙන.

"යං... අද ටිකක් කලිං ආපු එකේ මාත් එන්නං උදව්වට..."

අප්පච්චිත් අම්මට පිටිපස්සෙන් කුස්සිය පැත්තට යන්න හැරුණා.

"ආ... අන්න ඒකනං ඇත්තට ම හොඳ අදහසක්..."

අම්මත් කියන්නෙ හරි සතුටින් හිනා වෙවී. එහෙම හිනා වෙවී ම කුස්සියට ගිය සුංගිගෙ අම්මා පොල් ගෙඩියක් බිඳල බෑ දෙක අප්පච්චිගෙ අතට දුන්නා. 

"පොල් ටිකක් ගාමු එහෙනං මං හොද්ද ඒදල ගන්නකං... ගෙඩිය ම ගාන්න ඕන හැබැයි පොල් සම්බෝලයක් හදන්නත් තියෙන හින්දා... ඉඳියාප්පනෙ අද රෑට..."

"හ්ම්ම්... ගාමු ගාමු..."

අප්පච්චිත් හිනා වෙවී ම හිරමණේ උඩින් ඉඳගත්තා.

"අම්ම දැක්කොත් නං බනියි ද දන්නෙත් නෑ මට හැබැයි එයාගෙ පුත්‍ර රත්නෙගෙං මං වැඩ ගන්නවයි කියල..."

"එව්ව කියන්න බෑ ඉතිං... අම්මල එහෙම තමා... ඒව ඉතිං නැන්දම්මල ලේලිල ම බේරගන්න එකයි... මං නෑ ඕවට..."

"ගාන්න ගාන්න අනේ... අම්ම මොනව කිව්වම මගෙ මොකෝ පොල් ටික ගෑවිලනෙ එතකොට... අනික මේ අද ජීවිතේ පළවෙනි වතාවට ඔයා පොල් ගානව නෙමෙයිනෙ..."

එහෙම කියල සුංගිගෙ අම්මා හොද්ද ඒදන්න පටන් ගත්තා. එතකොට ම වගේ තමයි සුංගියි, අත්තම්මයි කුස්සියෙ දොරෙන් ගෙට ගොඩ වුණේ.

"ආ... මේ මොකද මේ...?"

අත්තම්මා අහන්නෙ හිරමණේ උඩ වාඩිවෙලා පොල් ගගා ඉන්න සුංගිගෙ අප්පච්චි දිහා බලාගෙන.

"ඇයි අම්මෙ...?"

සුංගිගෙ අප්පච්චිත් කිසි අමුත්තක් නැතුව ම ඇඟට පතට නොදැනි අහනව.

"පුතා පොල් ගාන්නෙ... කෝ දෙන්න මං ඕක ගාන්න... අද වැඩ ඇරිල කලිං ආපු දවසෙ පොඩ්ඩක් විවේකෙන් ඉන්න..."

එහෙම කියල අත්තම්මා හිරමණේ දිහාට කිට්ටු කළේ සුංගිගෙ අප්පච්චිව හිරමණෙන් නැඟිට්ටවල පොල් බෑය ඉල්ල ගන්න හිතාගෙන. සුංගිගෙ අම්මත් යාන්තමට වගේ හිනා වීගෙන අප්පච්චි දිහාට හොර බැල්මක් දැම්මා.

"මං මේක ගාන්නං අම්මෙ... ඕක මොකක් ද...?"

"ඒකනෙ... අම්මා කලිං වැඩ ඇරල ආවම හැම දා ම රෑට උයනවනෙ පොල් ගාල... අද අප්පච්චි කලිං ආපු හින්ද ඉතිං අප්පච්චි පොල් ගායි... අත්තම්මයි මායි බලාගෙන ඉමු..."

ඒ පාර අනික් කාටත් කලින් සුංගි කට ඉස්සර කළා.

"අර බලන්නකො අත්තම්මෙ... අම්මට වඩා ඉක්මනට අප්පච්චිට පොල් ගාන්නත් පුළුවන්... අත්තම්ම ද අප්පච්චිට පොල් ගාන්න කියල දුන්නෙ...?"

ආයෙමත් සුංගිගෙ ප්‍රශ්න කෝච්චිය ඇවිල්ලා.

"ඔව් ඔව්...ඉස්සර අත්තම්මා උයද්දි... සීය හරි අප්පච්චි හරි තමා ඉතිං පොල් ගාල දෙන්නෙ... අත්තම්ම පුංචි කාලෙ ඉඳල ම ඒව පුරුදු කරල තිබ්බෙ අප්පච්චිට..."

"හ්ම්ම්... ඒක තමයි... අත්තම්මා ඒ වුණාට ඒ කාලෙ සීයට හරි අප්පච්චිට හරි කියල පොල් ගාවගෙන, දැන් අප්පච්චිගෙන් අහනව පොල් ගාන්නෙ ඇයි කියල... අප්පච්චි ගාපු දෙං අනේ... අපි දෙන්නා ඇඟ සෝදගෙන බුදුන් වඳින්න යං... අපිට ඊට පස්සෙ තව ගමනක් යන්නත් තියෙනව... නේද අප්පච්චි...?"

සුංගි අත්තම්මයි, අප්පච්චියි දිහා මාරුවෙන් මාරුවට බලාගෙන ගිරවියක් වගේ කියවගෙන යනවා. සුංගිට දෙන්න උත්තරයක් අත්තම්මා ගාව කොහොමටත් තිබ්බෙ නෑ.

"හ්ම්ම්... දෝණි එහෙනං අත්තම්මත් එක්ක ගිහිං ඇඟ පත හෝදල පහන එහෙම තියල ලෑස්ති වෙලා ඉන්නකො... අම්මයි අප්පච්චියි ඉක්මනට වැඩ ටික ඉවර කරල එන්නං..."

අප්පච්චි එහෙම කිව්වම සුංගි ආයෙ කාටවත් මොනවත් ම කියන්න ඉඩ නො දී අත්තම්මවත් ඇදගෙන ම ගේ ඇතුළට යන්න ගියා.

"වෙලාවකට මේ ළමය කියන කතා හින්ද මිනිස්සුත් අපි එක්ක තරහ වෙනව ධනූ... හරියට නිකං අපි කියල දීල වගේ කතා කියන්නෙ එයා..."

අත්තම්මයි, දෝණියි ගේ ඇතුළට යනකල් ඉඳල අම්මා, අප්පච්චි දිහා බලල කියන්නෙ රහසින් රහසින් වගේ. අප්පච්චිත් මුකුත් නොකිය ම හිනා වෙනවා.

ගෙට ගිහිල්ල අත්තම්මත් එක්ක ම ඇඟ පත හෝදගත්තු සුංගි ඊට පස්සෙ මල් වට්ටියත් අරගෙන ම අත්තම්මා එක්ක මිදුලට බැස්සෙ බුදුන් වඳින්න මල් කඩාගන්න හිතාගෙන. වෙනදට නම් වේලාසන ම අත්තම්මා මල් වට්ටිය ලෑස්ති කරල තියනව. අද සුංගිත් එක්ක වත්ත පහළට යන්න වුණ හින්දා අත්තම්මට ඒ රාජකාරිය මඟ ඇරුණා.

"අනේ... අත්තම්මා මල් වට්ටිය අරන් මිදුලට බහිනකොට ම එයාල හරි සතුටින් බලාගෙන ඉන්නෙ අත්තම්මා ළඟට එනකං..."

සුංගි වතුසුද්ද ගස් පේළිය දිහා බලාගෙන ම කියනවා.

"කවුද දෝණි...? කෝ...? කොහෙද බලන් ඉන්නෙ...?"

"අයියෝ... ඔය ඉන්නෙ අනේ ලස්සනට හිනා වෙවී ගස්වලට වෙලා බලාගෙන... කළුවර හින්ද අත්තම්මට පේන්නැතුව ඇත්තෙ..."

"කවුද...? අපේ වතුසුදු මල් කුමාරියො ටික ද...?"

අත්තම්මා ඇහුවෙ සුංගිගෙ හිත හරියට ම තේරුම් අරන්.

"හ්ම්ම්....ඔව්... එයාල තමයි... එයාල හරි ආසාවෙන් ඉන්නෙ බුදු සාදු බලන්න යන්න..."

"එහෙම වෙන්න එපැයි ඉතිං... කවුද ඉතිං අකමැති බුදු හාමුදුරුවන්ට පූජ වෙන්න..."

"හ්ම්ම්..."

අත්තම්මා මල් එකින් එක කඩල වට්ටියට දානකල් සුංගි තමයි මල් වට්ටිය අල්ලගෙන  හිටියෙ. ඒත් එක්ක ම ඒ අතරෙ සුංගි මල් ගස් එක්කත් බර කතාවක. ඔහොම මල් ගස් එක්කත් කතා කර කර ඉද්දි තමයි සුංගි දකින්නෙ අත්තම්මා මල් කඩන්නෙ සමහර මල් අතෑර අතෑර කියල.

"ඇයි අත්තම්මා ඔක්කොම මල් කඩන්නැත්තෙ...?"

සුංගිගෙ කට හඬේ තැවරිල තියෙන්නෙ පුංචි දුකක්.

"ඔක්කොම කිව්වෙ දෝණි...?"

"අර අතන තියෙන මල එහෙම...."

සුංගි කියන්නෙ අත්තම්මා අතෑරපු වතුසුද්ද මලකුත් අත්තම්මට පෙන්නන ගමන්.

"ආ... ඒක කුරු මලක්නෙ දෝණි... ඒව බුදු හාමුදුරුවන්ට පූජ කරන්න හොඳ නෑ... පව්... ඔය අතෑරල තියෙන්නෙ එහෙම මල්... සමහර මල්වල පෙති අඩුයි... සමහර ඒව හරියට පිපිල නෑ... ඒකයි..."

"ඉතිං එයාලව පූජ කරන්න හොඳ නැද්ද...?"

"නෑනෙ දෝණි... හොඳ ම දේ තමයි අපි බුදු හාමුදුරුවන්ට පූජ කරන්න ඕන... ඔය කුරු මල් පූජ කළාම අපි ඊළඟ ආත්මෙ උපදින්නෙ කුරු අය වෙලාලු..."

"ඊළඟ ආත්මෙ...? ඒ මොකක් ද...?"

"හ්ම්ම්... අපි මැරිලා... ආයෙ උපදිනවනේ එතකොට..."

"හ්ම්ම්... ඉතිං ඒ වුණාට එයාල පව්නෙ... එයාල අඬනව... අර... අනේ... එයාලට බුදු සාදු බලන්නත් බෑනෙ එතකොට..."

"එහෙම තමයි ඉතිං දෝණි... අපි මොකද කරන්නෙ...?"

"හ්ම්ම්... අත්තම්මෙ..."

"ම්ම්ම්..."

"බුදු සාදු නපුරු නෑ නේද...?"

"අනේ නෑ මැණික... බුදු හාමුදුරුවො තරං කරුණාවන්ත කෙනෙක් ලෝකෙ ම නෑ..."

"හ්ම්ම්... බුදු හාමුදුරුවො වයසක අයටත් බණ කිව්ව ද අත්තම්මෙ...?"

"හ්ම්ම්... ඔව් දෝණි... බුදු හාමුදුරුවො බණ අහන්න කැමති ඕන ම කෙනෙක්ට බණ කිව්වා..."

"අත් කකුල් කැඩුණු අයටත්...? අසනීප අයටත්...?"

"ඔව් දෝණි... බුදු හාමුදුරුවො කාටවත් ම වෙනසක් කළේ නෑ... හැමෝට ම සැලකුවෙ එක ම විදිහට..."

"ඉතිං ඇයි මල්වලට විතරක් වෙනසක්...?"

"ඒ කිව්වෙ දෝණි...?"

"අත් කකුල් කැඩිච්ච අයටත් බුදු සාදු වෙනසක් කරේ නැත්තං ඇයි එහෙම මල්වලට විතරක් බුදු සාදු බලන්න යන්න බැරි...?"

සුංගිගෙ ඒ ප්‍රශ්නෙ ළඟ නම් අත්තම්මා එක පාරට ම නිරුත්තර වුණා.

"දහම් පාසලේ දි ලොකු සාදු කිව්වා බුදු හාමුදුරුවො සුනීත කියල පාරවල්වල කුණු සුද්ද කරන කෙනෙක්වත් මහණ කරගත්තා කියල... රාහුල කුමාරයට දුන්නෙත් ඒ දායාද ම යි කියල..."

"හ්ම්ම්..."

වෙන කියාගන්න දෙයක් නැතිකමට අත්තම්මා සුංගිට හූමිටි තියනවා.

"බුදු සාදු ද අත්තම්මෙ බුදු සාදුට අර වගේ මල් පූජ කරන්න එපා කිව්වෙ...?"

සුංගි ආයෙමත් අහන්නෙ වතුසුද්ද ගහේ පිපිල තියෙන කුරු මලක් අත්තම්මට පෙන්නන ගමන්.

"අනේ නෑ දෝණි... බුදු හාමුදුරුවො කාටවත් ම එහෙම කියල නෑ..."

"හ්ම්ම්... ඒක තමයි... මට හිතුණා... අත්තම්මල එහෙම කිව්වට බුදු සාදු නම් කවදාවත් ම එහෙම කියන එකක් නෑ... ලෝකෙම්ම කරුණාවන්ත බුදු සාදු නම් කුරු මල් අඬන හැටි දැකල බුදු සාදුට දුක හිතෙයි... අත් කකුල් කැඩුණු අයට බණ කිව්ව වගේ ම එයාල දිහාත් බලල හිනා වෙලා පූජ වෙන එක ගැන සතුටු වෙයි... ඒ පිනෙන් කුරු මලුත් නිවන් දකියි... නැත්තං අර අත්තම්මා කිව්ව වගේ ඊළඟ ආත්මෙ ආයෙ ලස්සන ම මල් වෙලා පිපෙයි..."

ආයෙමත් මුණගැහෙමු ❤️❤️

Comments

Popular posts from this blog

ගැහැණියක් නොකියපු කතාවක් කෙටි කතාව

හොරකම කෙටි කතාව

කුඩය කෙටිකතාව