සුංගි 06




"අම්මෙ... මං හිතන්නෙ අපේ ටීච දැං මාත්තෙක්ක තරහ වෙලා..."

සුංගි තව දවස් කීපයකට පස්සෙ අම්ම්ත් එක්ක කිව්වෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර එන ගමන්.

"ඒ මොකද දෝණි...? ටීචල එහෙම තරහ වෙන්නෑනෙ ළමයි එක්ක... ටීචල හරි ආදරෙයි ළමයින්ට..."

"එහෙනං ඔය තරහ වෙලා ඉන්නෙ... අපේ ටීච සමහරවිට දන්නැතුවැති ටීචල ළමයි එක්ක තරහ වෙන්නෑ කියල..."

"හ්ම්ම්... දෝණි කොහොම ද එතකොට දන්නෙ දැං... ටීච අපේ දෝණිත් එක්ක තරහ වෙලාමයි කියල...?"

"ටීච දැං ඉස්සර වගේ වැඩිය මං දිහා බලන්නෙත් නෑ... හිනා වෙන්නෙත් නෑ... කතා කරන්නෙත් නෑ... මං මොනව හරි ඇහුවම ටීච ඇහුන්නෑ වගේ ඉන්නව..."

සුංගි එහෙම කියද්දි නම් අම්මගෙ හිතට ලොකු වේදනාවක් දැනුණා. සීමාවක් නැති ප්‍රශ්න නිසා ටීචර් සුංගිව මඟ අරිනව ඇති කියල යි අම්මට හිතුණෙ. ඒත් ඒකෙන් සුංගිට මොන වගේ හානියක් වෙන්න පුළුවන් ද කියනෙක ගැන අම්මගෙ හිතේ ඒත් එක්ක ම ඉපදුණේ ලොකු බයක්. දවසින් දවස හැම දේ ම නරක අතට හැරෙනව මිසක්, විසඳුමක් ලැබෙන පාටක් තිබ්බෙ නෑ.

"අපි දන්නෑනෙ ඉතිං ටීචට ඇත්තට ම ඇහිල නැද්ද කියලත්..."

අම්ම එහෙම කිව්වෙ සුංගිගෙ හිත හදන්න.

"ඇයි ඉතිං එහෙනං කං ඇහෙන්නැති අය චූටි ළමයින්ට උගන්නන්න ගන්නෙ...? හයියෙන් ම කෑ ගැහුවහමත් ටීච බයිනවනේ..."

සුංගිගෙ ටීචට තියෙන්න ඕන හොඳ කනක් නෙමේ, හොඳින් පුංචි එවුන්ට ඇහුම්කන් දෙන්න පුළුවන් හොඳ හදවතක් කියල සුංගිගෙ අම්ම තනියම හිතුවා. ඒත් සුංගිට උත්තර දෙන්න එවෙලෙ අම්මා උත්සාහයක් ගත්තෙ නෑ.

"ඉතිං දෝණිට දුකයි ද දැං ටීච එහෙම ඉන්න එකට...?"

"නෑ... කලිං නං දුකයි... පස්සෙ කොහොමත් ටීච මට එච්චර ආදරේ වුණේ නෑනෙ... මං අකුරු ලියන්නෙ අග ඉඳං මුලට හින්දා... පස්සෙ මං කොච්චර මුල ඉඳං අගට ලිව්වත් ටීච හිතුවෙ ම මං ලියන්නෙ අනික් පැත්තට ම යි කියල... ඒ හින්ද එයා මට ආදරේ නැතුව ගියාම මාත් ටීචට ආදරේ නැතුව ගියා... ආදරේ නැති අය තරහ වුණාම දුක හිතෙන්නෑනෙ... දැං ඉතිං ටීච කොහොමටත් යාළු වෙන්නැති හින්ද මං අකුරු ලියන්නෙ ම අග ඉඳං මුලට..."

අම්මා තනියම ම ලොකු සුසුමක් හෙළුවා. ඒත් කෙල්ල මේ පුංචි වයසට ඒ හැම දේ ම දරාගෙන ඉන්න විදිහ ගැන අම්මගෙ හිතේ සතුටක් තිබ්බා. අප්පච්චි එදා කියපු විදිහට ම ප්‍රතික්ෂේප වීම්වලටත් සුංගි හරි ලස්සනට මූණ දෙනව කියලයි එවෙලෙ අම්මගෙ හිතට හිතුණෙ.

"හ්ම්ම්... දෝණිට දුක නැත්තං හොඳයි ඉතිං... දෝණිට ආදරේ වෙන්න අපි හැමෝම ඉන්නවනෙ... පිටිං පෙන්නුවෙ නැති වුණාට ටීචත් දෝණිට ආදරේ ඇති..."

"නෑ අනේ... එයා මට ආදරේ නෑ..."

"ඒ මොකද දෝණි එහෙම කියන්නෙ...?"

"අත් අකුරු තරගෙටත් මාව දැම්මෙ නෑ ටීච... සෙනුලිව දැම්මෙ... මගෙ අකුරු ලස්සන වුණාට මං ලියන්නෙ වැරදියට කිව්වා... ඒ වුණාට මං ලිව්වෙ හරි පැත්තට... ටීචත් ළඟ ඉඳන් බලාගෙන ම යි හිටියෙ... ටීච එක්ක ආපහු යාළු වෙන්න හිතිල මං ඔක්කෝම ටීච කියපු විදිහට ම යි ලිව්වෙ... ඒ වුණාට මාව ගන්නෙ නෑ කිව්වා... එදා මං අනික් පැත්තට ලිව්වට ටීච තාමත් තරහයි මාත් එක්ක... ඒකයි ඒ... ආයෙ ඉතිං හැම දා ම මං මට කැමති පැත්තට ම ලියනව..."

තප්පරෙන් තප්පරේට සුංගිගෙ පන්තිභාර ගුරුතුමිය ගැන සුංගිගෙ අම්මගෙ හිතේ තිබ්බ කලකිරීම තව තවත් වැඩි වුණා. සුංගි වැරැද්ද හදා ගන්න හදන වෙලාවෙ ඒකට ඉඩ සලසල නො දුන්නෙ ඇය කියල ම යි සුංගිගෙ අම්මට හිතෙන්නෙ.

"හ්ම්ම්..."

"අම්මෙ..."

"ම්ම්ම්...?"

"මං අකුරු මං කැමති පැත්තට ලිව්වට කමක් නෑ නේද...? මට ලේසිත් එහෙම... මං ආසත් එහෙම... මට එතකොට හුඟක් ලස්සනට... ඉක්මනට ම අකුරු ලියන්නත් පුළුවන්..."

සුංගි ඇහුව ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කලින් අම්ම කීප වතාවක් ම ඒ ගැන කල්පනා කළා. සුංගිට ලේසිත් පහසුත් ඒ විදිහ නම්, අකුරු වැඩිය ලස්සනට ලියන්නත් පුළුවන් එහෙම නම්, සුංගි ඒ විදිහට අකුරු ලියන එකේ වැරැද්දක් තියෙනව ද කියලයි අම්ම හිතුවෙ. කෙල්ලව අත් අකුරු තරගවලට තියල, හරි අතට ම ලියනවයි කියල පෙන්නලා, දිනවන්න හීනයක් අම්මගෙ හිතේ තිබුන්නෑ. අන්තිමට ඉතින් අම්ම සුංගි වෙනුවෙන් තීරණයක් අරගෙන තිබුණා.

"කමක් නෑ මැණික... ඔයා කැමති... ඔයාට පහසු විදිහට ලියන්න... එතකොටනෙ ඔයාට ලස්සනට ලියන්නත් පුළුවන්..."

"හ්ම්ම්... අම්මගෙ පන්තියෙ අක්කලටයි, අයියලටයි නං ශෝක්... "

සුංගි ඒ ගැන කිව්වෙ එච්චරයි. ඒ එක්ක ම කෙල්ල ආපහු අදාළ ම නැති පැත්තකට කතාව ඇදල ගත්තා.

"අම්ම හිතන්නෙ අර ඉබ්බගෙයි, හාවගෙයි කතාව ඇත්තක් ද...?"

"කොයි...?"

කෙල්ල අහපු ප්‍රශ්නෙ ඇහුණම අම්මටත් හිනා.

"අර රේස් එකක් දිව්ව එක..."

"ආ... ඒ කතාව ද...? දෝණිට මොකද හිතුණෙ...?"

අම්ම උත්තරයක් නො දී සුංගිගෙන් ම ඇහුවෙ, ඒ ගැන සුංගිගෙ අදහස මොකක් ද කියල දැනගන්න ආසාවක් හිතට ආපු හින්දා. අනික අහපු ගමන් තමන්ගෙ අදහස කියල කෙල්ල හිතන විදිහ වෙනස් කරල ඒ පැත්තට හරවගන්න සුංගිගෙ අම්මට ඕනකමක් තිබ්බෙත් නෑ.

"මට නං හිතෙන්නෙ ම බොරු කියල... හාවට පිස්සුයැ රේස් එකක් දුවන ගමං නිදාගන්න..."

"මඟ දි කම්මැලිකමක් ආව ද දන්නෑනෙ දෝණි..."

"හාව එහෙම කම්මැලියෙක් නං එයා ම ඉබ්බට රේස් දුවන්න කතා කරයි ද අනේ...? එයාටමනෙ දුවන්න ඕන වුණෙත්..."

"ඒක නං ඇත්ත තමයි... ඒත් ඉබ්බට දිනන්න බෑ කියල තමං ගැන ඕනවට වඩා ලොකුවට හිතන්න ගිහිං... රේස් එක පැත්තක දාල නිදා ගත්ත ද දන්නෑනෙ හාවා..."

"රේස් එක චූටි දුරක් නං තිබ්බෙ හාවට කොහොමටත් මඟ නැවති නැවති නිදියන්න වෙලාවක් නෑනේ... ඉබ්බ එක්ක හුඟාක් දුර දුවන්න රේස් එකක් දා ගන්න එකකුත් නෑනෙ හාවා..."

කෙල්ලගෙ කතාවලට අම්මට තනියම හිත යටින් හිනා.

"ඒකත් ඇත්ත තමයි... දෝණි මොකද හිතන්නෙ එතකොට...?"

"මං නං කියන්නෙ ඒක බොරු කතාවක්... කම්මැලි ඉබ්බෙක් හාවො ලැජ්ජ කරන්න හදපු කතාවක් ද කොහෙ ද ඒක... හාවා මුලිං ඉබ්බට ඉස්සර වෙන්නත් දුන්නනෙ... එහෙමත් කරපු එකේ හාවා ඇත්තට ම නිදාගත්තත් ඉබ්බට තිබ්බනෙ මඟ දි හාව නිදං ඉන්නව දැක්කම ඇහැරවන්න..."

"ඉතිං මැණික එතකොට ඉබ්බා පරදිනවනෙ... ඒකයි ඇහැරවන්න නැතුවැත්තෙ..."

"ඒකයි මට ඉබ්බ එක්ක තරහත්... එයාට ඉස්සර වෙන්නත් දුන්න හාවට හොරෙම්ම දිනන්න ගියාට... එහෙම දිනල වැඩක් තියෙනවයැ... එහෙම මඟ දි හාවව ඇහැරෙව්ව නං තරගෙං දිනුවට වඩා පැරදුණත් ඉබ්බට ආදරේ වෙනව කට්ටිය... හොරෙං හොරෙං දුවල දිනල මොන කැත වැඩක් ද ඒක..."

සුංගි කියන දේවල් දිගේ හිතාගෙන හිතාගෙන යද්දි කෙල්ල කියන දේවල් ඇත්තට ම කොයි තරම් සාධාරණ ද කියල අම්මටත් හිතෙනවා. 

"මැණික... ඔයා නං ශෝක් අනේ..."

"ඒ ඇයි...?"

"දෝණි කිව්ව එක ඇත්ත තමයි... ඉස්සර අම්මල චූටි කාලෙ අම්මලගෙ ටීචල ඔය කතාව කියල දෙද්දි අපි හිතුවෙ හොඳ වැඩේ හාවට කියල... දැං දෝණි කිව්වමයි මටත් හිතුණෙ ඒක එහෙම ම නෑ කියල..."

"ඒ වුණාට අම්ම එහෙම හිතපු එකත් හොඳයි..."

"ඇයි...?"

"නැත්තං ඕව කියල දෙන්න ගියාම අම්මගෙ ටීචත් අම්මට බයිනව විකාර කියවන්නැතුව කතාව අහං ඉන්න කියල... යාළුවොත් හිනා වෙයි..."

සුංගිට ඒක ඉස්කෝලෙ දි එහෙම වුණා ද කියල අම්ම ආපහු සුංගිගෙන් අහන්න ගියේ නෑ. සුංගි කියපු වචන ටිකෙන් ම සිද්ධ වෙන්න ඇත්තෙ මොකක් ද කියල අම්ම ඕනවටත් වැඩියෙන් හොඳට තේරුම් ගත්තා. ඒ හැම වෙලාවෙ ම අම්මගෙ හිතට වද දුන්න ප්‍රශ්නෙ, සුංගි මේ ඉස්කෝලෙට දාල කරගත්තෙ වැරැද්දක් ද කියන එක.

"ඕක ඉස්කෝලෙ වැරැද්ද ම නෙමෙයි නිලූ... අපේ අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද... විෂය කරුණු ටික විතරක් ඔළුවට රිංගවන්න ටීචලව පුරුදු කරවල තියෙනෙකේ වැරැද්ද..."

අම්මා ඒ ගැන එදා රෑ සුංගිගෙ අප්පච්චිත් කිව්වම අප්පච්චිගෙන් ලැබුණෙ ඒ වගේ උත්තරයක්.

"ඒ වුණාට අපේ ට්‍රේනිංවල දි අපිට කියන්නෙ පුළුවන් තරං ළමයින්ව තේරුම් ගන්න... එයාලගෙ මනස... එයාලගෙ ලෝකෙ තේරුං ගන්න කියල ධනූ..."

"කියනව විතරනෙ නිලූ... මාසයක් දෙකක් දෙයි ටේනිං... එච්චරයි... ආයෙ ඒක ඒ විදිහට වෙනව ද කියල බලන විදිහක් තියෙනව ද...? අනික කෙළවරක ඉඳන් අපේ මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න ඕන නිලූ... එහෙම නැතුව මොන ට්‍රේනිං එක දුන්නත්... මොන කතන්දර කිව්වත් වැඩක් නෑ... අද බහුතරයකට ගුරුකම කියන්නෙ පඩියක් ගන්න රස්සාවක් විතරයි... කලාතුරකින් ඉන්නව ඒකෙ වටිනාකම හරියට තේරුම් ගත්තු ඔයාල වගේ සුළුතරයකුත්..."

"හ්ම්ම්... සුංගිට අපි මොකද කරන්නෙ ධනූ... දිගට ම තියනව ද මේ ඉස්කෝලෙ...?"

"හ්ම්ම්... අපි ඊළඟට දාන ඉස්කෝලෙ ඔයිට හපං වුණොත් මොකද කරන්නෙ නිලූ... අඩු ගාණෙ මේක අපි දන්න කියන අපේ ගමේ ඉස්කෝලෙ... ඔයත් ඒ ඉස්කෝලෙ ම ගුරුවරියක්... එහෙම වෙලත් දෝණිගෙ ටීච එයාට සලකන්නෙ මෙහෙම නං මීට වඩා දෙයක් බලාගෙන අපි කොහොම ද කෙල්ලව අපි නො දන්න ම තැනකට යවන්නෙ...?"

"ඒකනං එහෙම තමයි..."

"දෝණි හැමදේට ම හුරු වෙයි නිලූ මං කලිනුත් කිව්ව වගේ... එයා ම කියනවනෙ දැන් ටීච එහෙම වුණාට එයාට දුකක් නෑ කියල... එයා පාඩුවෙ එයාගෙ වැඩ ටික කරගෙන යයි... එයාට තියෙන අනික් ප්‍රශ්න මෙහෙම ගෙදර දි ම අපි එයාට විසඳල දෙමු... එයා හොයන නිදහස් ජීවිතේ එයාට මේ ගෙදරයි... වටාපිටාවෙයි තියෙනවනෙ..."

"හ්ම්ම්... ආ... තව දෙයක්... ඔන්න එයාට රෑට තනියම නිදාගන්න ඕනලු..."

අම්මා, ඒ පාර අප්පච්චිට කිව්වෙ අලුත් ම කතන්දරයක්.

"මොකක්...? අපේ මේ චූටි කෙල්ලට... ඒකි එච්චරට අම්මණ්ඩියෙක් වෙලා ද දැං...?"

අප්පච්චිත් අහන්නෙ ලස්සන ම ලස්සන හිනාවක් මූණෙ තවරගෙන.

"හ්ම්ම්... කියන්නෙ ඉතිං ඔය..."

"ඔයා ඇහුවෙ නැද්ද ඇයි කියල...?"

"අහන්න හම්බුන්නෑ... හදිස්සියෙ ම ඇවිත් හවස මට ඕක කියල එයා ආපහු අත්තම්ම එක්ක වත්ත පල්ලෙහට දිව්වා..."

"කෝ දැං...?"

"මිදුලෙ ඇත්තෙ අම්මත් එක්ක... තියෙන තරමක් වැඩ එයාට තියෙන්නෙ එළියෙනෙ... ආ... එදා අර අම්මත් එක්ක වත්ත පහළට ගිහිං තියෙන්නෙ මොකට ද දන්නව ද...? අර අපිවත් ඉස්සෙල්ල ම එයාගෙ මියුසිකල් ශෝ එකට එක්කං ගිය දවසෙ..."

"නෑනෙ... ඇයි ඒ...?"

අප්පච්චිත් අහන්නෙ ලොකු කුතුහලේකින්.

"මටත් අද ඕං කිව්වෙ... අර දවසක් කැලෑ මිදුල් කරනව කිව්වෙ... එදා තණකොළ අස්සෙ පනුවො වගයක් හිටියා... අර ගැඩවිල් පවුලක් ද මොකක් ද කිව්වෙ එයා ම... එයත් එක්ක කතා කරා කිව්වෙ..."

"ඉතිං...?"

"ඉතිං එයාලට වත්ත පහළිං කරදරයක් නැතුව ඉන්න තැනක් හොයල දුන්නලු... දැං සතුටිං ඉන්නවලු කට්ටිය ම..."

"අනේ මන්දා මේ කෙල්ල නං..."

"ඒක තමා ඉතිං එයාගෙ ලෝකෙ... ආහ්... ඔය එන්නෙ අම්මත් එක්ක... ඔයා ම අහල බලන්නකො තනියම නිදියන කතන්දරේ... මං කුස්සිය පැත්තට යනව..."

එහෙම කියල සුංගිගෙ අම්මා කුස්සිය පැත්තට යන්න හැරෙද්දි දුවගෙන ම අප්පච්චි ගාවට ආපු කෙල්ල අප්පච්චිගෙ ඇඟේ එල්ලුණා.

"අප්පච්චි... යංකො සින්දු අහන්න..."

සුංගි ඔය කතා කරන්නෙ මිදුලෙ කොට්ටං ගහ යට බංකුවට යන්න. රෑ කෑමෙන් පස්සෙ දැන් ගෙදර හැමෝම පොඩි වෙලාවකට හරි ඒ බංකුවට ගිහින් ගහකොළ හුළඟට ඇහුම්කන් දෙන එක පුරුද්දක් වෙලා. දවසෙ ම කලබලවලින් හිත නිදහස් කරගන්න ඒක තමයි හොඳ ම විදිහ කියල මේ ටික දවසට හැමෝම තේරුම් අරගෙන තිබුණා.

"හ්ම්ම්... දැම්ම ම...? වෙනදට කාලනෙ යන්නෙ...?"

"කමක් නෑ... අපි දෙන්න විතරක් අද ටිකක් කලිං යං..."

"හ්ම්ම්... යංකො එහෙනං..."

අප්පච්චි සුංගිවත් වඩාගෙන ම ගෙයින් එළියට බැස්සා.

"මං හරි ආසයි තරු දිහා බලං ඉන්න... ශෝක් එතකොට..."

කොට්ටං ගහ යටට යන අතරතුරේ සුංගි කියනවා.

"තරු දිහා බලං ඉන්න නං කවුද ආස නැත්තෙ දෝණි..."

"අප්පච්චිලත් ආසයි ද...?"

සුංගි අහන්නෙ පුදුමෙකින් වගේ.

"ඔව්... හරි ලස්සනයිනෙ තරු පෑව්වහම අහස..."

"හ්ම්ම්... අහස ඉතිං කොහොමටත් ලස්සනයිනෙ... ඉතිං ඇයි අප්පච්චිල ගෙට සිවිලිමක් ගහල වහළෙට උළු තිබ්බෙ...?"

"ඒ කිව්වෙ දෝණි...?"

දෝණි කියන්න යන්නෙ මොකක් ද කියල එක පාරට ම අප්පච්චිට තේරුණේ නෑ.

"එතකොට අහස පේන්නෑනෙ... වහලෙට හොඳ වීදුරුවක් වගේ එකක් දැම්ම නං අපට ගේ ඇතුළෙ ඉඳං ම හඳයි තරුයි බලන්න තිබ්බා... රෑට දොයියන්න යද්දි ශෝයි එතකොට..."

"හ්ම්ම්... ඒකත් ඇත්ත... අපි එක කාමරේකට හරි එහෙම දා ගමුකො දෝණි..."

"අනේ...ශෝයි අප්පච්චි..."

කෙල්ල අප්පච්චිගෙ බෙල්ල බදාගෙන මූණ ඉඹිනවා.

"හ්ම්ම්... මොකෝ දැං මේ අපේ සුංගි බට්ටි රෑට තනියෙං දොයියන්න ඕනයි කියන්නෙ...?"

ඒ පාර අප්පච්චි වටින් ගොඩින් ඇවිත් දෝණිගෙන් අහන්නයි කියල හිතේ තිබ්බ ප්‍රශ්නෙත් අහල දැම්මා.

"එතකොට මට ලේසියි..."

"මොකක් ද...?"

"මවාගන්න..."

"මොනව ද...?"

"ඔක්කොම..."

"ඔක්කොම කියන්නෙ...?"

"ම්ම්ම්... මං රෑට ඇඳේ නිදාගත්තට හිතෙන් මවං ඉන්නෙ වෙන ලස්සන ලස්සන තැන්වල... කිසි ම සද්දයක් නැතුව තනියෙං ඉද්දි එහෙම මවාගන්න ලේසියි... එළියෙ ගස් හුළඟත් එක්ක එකතු වෙලා කියන සින්දුත් ලස්සනට ඇහෙනවා..."

"මොනව ද ඉතිං දෝණි මවාගන්නෙ...?"

"අප්පච්චිත් මවා ගන්නව නං කියන්නං... නැත්තං වැඩක් නෑ..."

"හ්ම්ම්... කියන්නකෝ..."

"ඊයෙ රෑ නං මං හිටියෙ ලස්සන ම ලස්සන කන්දක් උඩ... තණකොළ පිට්ටනියක තමයි නිදාගෙන හිටියෙ... මගෙ වටේට ම තිබ්බෙ පාට පාට මල්වලින් පිරිච්ච ලස්සන ම ලස්සන මල් ගස්... ඒ වටේට ම සමනල්ලුත් පියාඹනව... හුළඟ හරී ම සනීපයි... ලස්සන ඇළකුත් ගලාගෙන යනව එහා පැත්තෙං... ඒත් එක්ක ම මගෙ මිදුල වටේ ඉන්න යාළුවො කියන සින්දු ඇහෙද්දි තවත් ශෝක්..."

සුංගි කියන්නෙ ඇස් දෙකත් පියාගෙන.

"හ්ම්ම්... හරි ශෝක් තමයි... මං ගෙනත් දෙන්නංකො දෝණිට තනියම නිදාගන්න ඇඳක් එහෙනං..."

"අනේ... ඇත්තම යි ද අප්පච්චි...?"

කෙල්ලගෙ සතුට ඇස් දෙකෙන් බේරෙනවා.

"හ්ම්ම්... අප්පච්චි දෝණිට බොරු කියල නෑනෙ..."

"හ්ම්ම්..."

සුංගි ආයෙමත් හරි ආදරෙන් අප්පච්චිව බදාගෙන. 

"අහන්නකො අප්පච්චි... හුළඟ... එයාල ඒ සින්දුව කියන්නෙ මට... මටයි අප්පච්චිටයි... එයාලටත් සතුටුයි..."

කෙල්ල එහෙම කියල අප්පච්චිගෙ පපුව අස්සෙ ඔළුව හංග ගන්නව. අප්පච්චිත් හරි ම ආදරෙන් කෙල්ලව තුරුළු කරගෙන.

"අප්පච්චි..."

ටික වෙලාවකින් ඔළුව පපුවෙ ම හංගගෙන සුංගි රහසින් වගේ අප්පච්චිට කතා කරනව.

"ම්ම්ම්...?"

"අප්පච්චිගෙ පපුවෙන්..."

"හ්ම්ම්... ඉතිං..."

"මගෙ යාළුවන්ගෙ සින්දුවට ලස්සනට බෙරයක් ගහනව ඇහෙනව..."

ආයෙමත් මුණගැහෙමු ❤️❤️

Comments

Popular posts from this blog

ගැහැණියක් නොකියපු කතාවක් කෙටි කතාව

හොරකම කෙටි කතාව

කුඩය කෙටිකතාව