සුංගි 07




සුංගි ම මවා ගත්තු ලෝකෙක රෑ තිස්සෙ අතරමං වෙන්න ඕන හින්ද අප්පච්චි අන්තිමට සුංගිට තනියම ම නිදාගන්න ඇඳක් ගෙනල්ලා දුන්නා. හැබැයි සුංගිගෙ ඇඳ තිබුණෙත් අප්පච්චිලගෙ කාමරේ ම තමයි. කාලෙකට පස්සෙ සුංගි ළඟින් නැතුව නිදා ගන්න ගිය අම්මටයි, අප්පච්චිටයි හරියට නින්ද ගියෙත් නැති තරම්. හැබැයි සුංගි අලුත් ඇඳ උඩට වෙලා, ඇස් දෙකත් පියාගෙන ම තනියම හිනා වෙවී එයාගෙ ම ලෝකෙක හරි සතුටින් ඉන්නව දැක්කම අම්මගෙයි, අප්පච්චිගෙයි හිතේ තිබුණු ඒ දුක තුනී වෙලා ගියා.

සුංගිගෙ නැළවිලි ගීය වුණේ ගෙයින් එළියෙ හමන හුළඟෙ සද්දෙ. ඒ හුළඟට ම තාල තිය තිය, ගහ කොළ ඒ මේ අත පැද්දෙන හැටි සුංගි හිත ඇතුළෙන් ම මවා ගත්තා. තරු කැට එක දෙක ආකහෙ ඉඳන් සුංගිත් එක්ක හොරෙන් ම කතාවක. ඒත් ඒ කතාව ඒ තරම් දුර දිග යන්න කලියෙන් ම හරි සනීපෙට සුංගි නිදි දෙව්දුවගෙ තුරුළට ගිහින් හිටියා.

ආයෙමත් පහුව දා උදේ සුංගි ඇහැරුණේ සැරින් සැරේට එහෙන් මෙහෙන් ඇහෙන කුරුල්ලන්ගෙ කීචි බීචි සද්දෙන්. ඒත් ඒ හඬට හිතේ හැටියට ඇහුම්කන් දෙන්න මිසක්, ඇස් දෙක අරින්න ඕනකමක් සුංගිට තිබ්බෙ නෑ. තවත් ටික වෙලාවක් එහෙම්ම ම ඇඳට වෙලා ඉඳල අන්තිමේ මහ ලෝභකමකින් වගේ කෙල්ල ඇස් දෙක ඇරල අප්පච්චිලගෙ ඇඳ දිහාවට එබුණා. ඒත් ඉතින් අම්මවත්, අප්පච්චිවත් ඇඳේ තියා, කාමරේවත් පේන්න හිටියෙ නෑ.

පොරවගෙන හිටපු රෙද්ද හරි බුහුටිකමට නමල කොට්ටෙ යටින් තියල එහෙම සුංගි ඒ පාර ඇඳෙන් බැහැගත්තා. 

'ආ...! අද පෝයනේ... ඒකනෙ ඊයෙ හරි එළියට හඳ පායල තිබ්බෙ...'

ඇඳෙන් බැහැල පියවර දෙක තුනක් යද්දි ම සුංගිට මතක් වුණා. 

'ඒ කියන්නෙ අද අප්පච්චිත් ගෙදර...'

එහෙම හිතපු සුංගි කාමරෙන් එළියට ඇවිත්, වෙන කොහෙටවත් ම නොගිහින් කුස්සිය පැත්තට ම ඇවිදගෙන ගියේ අනිවාර්යයෙන් ම මේ වෙලාවෙ අම්මයි, අප්පච්චියි ඉන්නෙ කුස්සියෙ ම තමයි කියල හොඳට ම දන්න හින්දා. හිතුවත් වගේ ම සුංගි කුස්සියට යනකොටත් අම්මයි, අප්පච්චියි දෙන්නා උයන්නත් පටන් අරන්.

"ආ... නැඟිටල තියෙන්නෙ අපේ කම්මැලි කෙල්ල..."

සුංගි කුස්සියට එබෙනකොට ම සුංගිව දැකල අම්ම කියනවා.

"මං කම්මැලි නෑ අනේ... කම්මැලි නං උදේ ම නැඟිටින්නෙ නෑනෙ... නේද අප්පච්චි...?"

කෙල්ල එහෙම කියාගෙන ම ගිහින් පුටුවකට වෙලා ඉඳගෙන හිටපු අප්පච්චිගෙ ඔඩොක්කුවට පනිනවා.

"ඒකනෙ... අම්මට ඒකවත් කල්පනා වෙලා නෑනෙ දෝණි..."

"අම්ම ඉතිං අපි ඔක්කොටම කලිං ඇහැරෙන හින්ද අපි කම්මැලියි කියල හිතෙනව ඇති අම්මට..."

සුංගි ම ආපහු කියනවා.

"ආන්න ඒකනෙ... දෝණිට තේරුණා... ඔන්න අපි අද කුරක්කන් රොටී හැදුවෙ දෝණි කන්න ආස නිසා..."

අම්ම කියන්නෙ ඒක ඇහැව්ව ම සතුටින් ඉපිළිල යන දෝණිගෙ දිලිසෙන ඇස්වල දිස්නෙ බලාගන්න තිබ්බ ඕනකමට ම යි. කෙල්ලත් හරි සතුටින් අම්ම දිහා බලල හිනාවෙනව. 

සුංගිගෙ ආස ම කෑමවලින් එකක් තමයි කුරක්කන් රොටී. අනික් එක තමයි රතු හාලින් හදන කිරිබත්. මේ දෙක ම කන්න කොච්චර සැර වුණත් සුංගිට ඕන හොඳට ලුණු ඇඹුල් දාපු කට්ට සම්බෝලයක් ම තමයි.

"එහෙනං ශෝක්... අම්මයි අප්පච්චියි ගෙදර ඉන්න දාට ඉතිං කොහොමත් ශෝක්... පන්සලුත් යනව ද අද අපි...?"

"හ්ම්ම්... හවස් වෙලා යංකෝ... අත්තම්මත් එක්කරගෙන ම ආවැහැකි එතකොට..."

"හ්ම්ම්... අත්තම්මා ගිහිං හුඟක් වෙලා ද...?"

"ටිකක් වෙලා දෝණි... ඇයි ඒ...?"

"මාත් යන්න ඕන දවසක අත්තම්මත් එක්ක..."

සුංගි කියන්නෙ හරි කල්පනාවෙන්.

"ඒ මොකද...? දෝණිටත් සිල් ගන්න හිතුණ ද අත්තම්ම එක්ක...?"

ඒ පාර සුංගිගෙ මූණට එබුණෙ අප්පච්චි.

"නෑ..."

"එහෙනං...?"

ඒ පාර අප්පච්චි අහන්නෙ නළල එහෙම රැලි කරගෙන අම්මගෙ මූණ දිහාත් බලන ගමන්.

"අත්තම්ම සිල් ගන්නෙ කොහොම ද කියල බලන්න..."

සුංගි එහෙම කියද්දි අම්මටයි, අප්පච්චිටයි දෙන්නට ම හිනා.

"ඇයි ඉතිං බලන්න යන්නෙ...? සිල් ගන්න ම ගියා නං ඉවරයිනෙ..."

"ඉස්සෙල්ල බලන්න ඕන සිල් මටත් ගන්න පුළුවන් ද කියල... පුළුවන් නං ඊට පස්සෙ පෝයෙ ඉඳං මාත් ගන්නව..."

"ආ... ඒක හොඳයි තමයි කෝකටත්... දැනගෙන ගියාම අත්තම්මටත් ලේසියිනෙ... ඒත් ඉතිං අත්තම්ම සිල් ගන්න හැටි තනියෙං ගිහිං දෝණිට බලාගන්න බෑනෙ... එතකොට අත්තම්මටත් වදේ... දෝණිව බලාගන්නත් එපැයි..."

"හ්ම්ම්... එහෙනං අපි අද ගිහිං බලමු..."

ඒ පාර සුංගිගෙන් තවත් යෝජනාවක්.

"යං ද අප්පච්චි...?"

"හ්ම්ම්... දවල් දානෙ වෙලාව අල්ලල අපි යංකො... එතකොට දානෙ ගන්න හැටිත් බලාගන්න පුළුවන්නෙ දෝණිට..."

"අන්න හොඳයි... අපි තුන්දෙනා ම යං... අප්පච්චි... ඇත්තට ම සිල් ගන්නව කියල මොකද කරන්නෙ අප්පච්චි අත්තම්මලා...? අපි හවසට යද්දි අත්තම්මල ඉඳගෙන ඉන්නව විතරයිනෙ මං දැකල තියෙන්නෙ..."

ඔන්න සුංගිගෙන් තවත් ප්‍රශ්නයක්. උත්තරයක් දෙන්න කලින් අප්පච්චි බැලුවෙ අම්මගෙ මූණ දිහා.

"එහෙම තමයිනෙ දෝණි... සිල් ගත්තම කෑ කෝ ගහන්න... එහෙ මෙහෙ දඟලන්න හොඳ නෑනෙ... ඒකයි ඒ..."

සුංගිට උත්තරේ හම්බුණේ අම්මගෙන්.

"හ්ම්ම්... ඇයි ඒ...? සිල් බිම වැටෙනව ද දඟලද්දි...?"

"අනේ... සිල් කියන්නෙ අතින් අල්ලන්න අතට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි දෝණි... ඒ හින්ද සිල් බිමට වැටෙන්නෑ..."

"ඉතිං ඇයි එහෙනං එච්චර පරිස්සමට ඉන්න ඕන..."

අම්මටයි, අප්පච්චිටයි කෙල්ලට සිල් ගැන කියල දෙන්න විදිහක් හිතාගන්න බැරුව හිටියෙ. වැරදි දෙයක් කියල දෙන්නත් බෑ.පුංචි කාලෙ අහන, කියන දේවල් ළමයි තදින් ම ඔළුවට ගන්නව කියනෙක සුංගිගෙ අප්පච්චි කොහෙන් හරි අහල තිබුණා. ඒ හින්ද වැරදි අදහසක් සුංගිට දෙන්න පුළුවන්කමකුත් නෑ.

"හ්ම්ම්... අප්පච්චි සිල් ගැන කියල දෙන්නංකො... දෝණිට තේරෙනව ද කියල බලන්නකො..."

"හ්ම්ම්..."

"ඔන්න දෝණි ඔයා මොකක් හරි වැඩක් කර කර ඉන්නකොට... මදුරුවෙක් ඇවිල්ල ඔයාව කනවා... හරි ද...?"

"හ්ම්ම්... හරි..."

"දෝණිට හුඟක් රිදෙනව. දෝණි මොකද කරන්නෙ...?"

"මුකුත් නෑ... එයා ලේ බොන හැටි බලං ඉන්නව... එතකොට එයාලගෙ බඩ පිරිල රතු ම රතු පාට වෙනව... හරි ශෝක්..."

සුංගි කියන්නෙ ලස්සන හිනාවකුත් දාලා. හැබැයි අප්පච්චි සුංගිගෙන් බලාපොරොත්තු වුණ උත්තරේ ඒක නෙමෙයි. ඒ හින්ද අප්පච්චිගෙ වැඩේ තවත් සංකීර්ණ වෙන්නයි යන්නෙ කියල අප්පච්චිට ම හිතුණා.

"හ්ම්ම්... ඇත්තට ම දෝණි එහෙම ද කරන්නෙ...?"

"හ්ම්ම්... ඇයි...? එහෙම නෙමෙයි ද කරන්න ඕන...?"

"නෑ නෑ... එහෙම තමයි... සමහරු හුඟක් රිදුණම මදුරුවට ගහනවනෙ... ඒකයි මං ඇහුවෙ අපේ දෝණිත් එහෙම ද කියල..."

"අම්මෝ... අපේ ඉස්කෝලෙ කවිත් නං  එහෙමයි... ඒ වුණාට අම්මයි, අත්තම්මයි මට කියල තියෙන්නෙ කන, බොන වෙලාවට සතෙක්ටවත් කරදර හිරිහැර කරන්න හොඳ නෑ කියලනෙ..."

සුංගි කටත් උල් කර කර කියද්දි අම්මටයි, අප්පච්චිටයි හිනා.

"හොඳට ම රිදුණොත්... ඒත් මුකුත් කරන්නැද්ද දෝණි...?"

"නෑ... ඉන්න ම බැරි තරං රිදුණොත් කටිං පිඹිනව... එතකොට එයාල යනව... ඒත් දැං කාලෙකිං මදුරුවෙක් මාව කාල නෑනෙ..."

"දෝණිත් එයාලට ආදරේ හින්ද... එයාලත් දෝණිට ආදරේ ඇති... ඒකයි දෝණිව කන්නැත්තෙ..."

"හ්ම්ම්... අත්තම්මත් කිව්වා..."

"මොකද්ද...?"

"අපි එයාලව මරන්නැති වුණාම එයාලත් අපිට කාල රිද්දන්න එන්නෑ කියල..."

"හ්ම්ම්... ඉතිං තරහ යන්නෙ ම නැද්ද දෝණිට එයාල කද්දි ඔයාව...?"

"අප්පච්චි බත් කනකොට බත් තරහ වෙලා අප්පච්චිට ගහනව ද...? අප්පච්චි එයාලව හපල හපල කනව කියල...?"

"නෑ නෑ..."

"හ්ම්ම්... ඉතිං මාත් ගහන්නෑ එයාලට... අපි ඔක්කොමල්ල එයාලට ගැහුවොත් එයාලට බොන්න ලේ කොහෙන්වත් නෑනෙ... බඩගින්නෙ ම මැරෙයි එයාලා..."

"ඒකත් ඇත්ත..."

"හ්ම්ම්... අත්තම්ම කිව්ව දවසක් එයා නං මදුරුවෙක් කද්දි හිතන්නෙ ලේ දන් දෙනව කියලලු... අර අප්පච්චි දවසක් දුන්නෙ... අත්තම්ම දැං වයස හින්ද නර්ස් නැන්දල ලේ ගන්නැති හින්ද එහෙම ලේ දීල පිං ගන්නවලු අත්තම්මා...නරක මදුරුවො බෝ වෙන්නෙත් අපි ම කැලේ කරං අපිරිසිදුවට හිටියොත් කිව්වා..."

"හ්ම්ම්... ඇත්ත තමයි...."

"අපි එයාල එක්ක තරහ ගන්නැතුව අපිව කද්දිත් ඉවසන් එයාලට ආදරේ හිතුවොත් කවදාවත් නරක මදුරුවෙක් අපට කන්නෙත් නෑ කියල අත්තම්ම කිව්වා..."

"හ්ම්ම්... දෝණි ඉතිං කොහොමටත් කාටවත් හිරිහැර කරන්නෑනෙ... එහෙම කරන අයත් ඉන්නවනෙ... ඉතිං මැණික අපි සිල් ගන්නව කියල කරන්නෙ අපේ ඇඟෙනුයි, අපේ වචනවලිනුයි වෙන වැරදි නොකර හොඳ දේවල් ම කර කර, හොඳ දේ ම කතා කර කර ඉන්න එකට..."

"ඉතිං එතකොට එහෙම ඉන්න ද ඔය අත්තම්ම පෝය දාට පන්සලට යන්නෙ...?"

සුංගි අහන්නෙ ලොකු කුතුහලේකින් වගේ කියල අප්පච්චිට හිතෙනව.

"ඔව් දෝණි..."

"ඉතිං ඒකට පන්සලට යන්න ඕනයැ...  අත්තම්මා කොහොමටත් ගෙදර ඉන්නෙත් එහෙමනෙ..."

"ඔව් දෝණි... අපට ගෙදර ඉඳල ම සිල් ගන්නත් පුළුවන්... පෝයට නෙමෙයි හැමදාට ම අපි සිල් රකිනව නං තමා වටින්නෙ..."

"මං හිතුවෙ සිල් තියෙන්නෙ පන්සලේ ලොකු සාදු ගාව කියල... ඒක හුඟක් වටින දෙයක් හින්ද නැති වෙයි කියල  කාටවත් ගෙදර ගේන්න දෙන්නෑ කියල... ඒකට ආස හින්ද පෝයට ඉල්ලගෙන පරිස්සමට තියන් ඉඳල ආපහු හවසට ලොකු සාදුට ම දීල එන්නයි අත්තම්මල යන්නෙ කියල..."

එහෙම කියල කෙල්ල ම තනියම හිනා වෙනව. ඒ එක්ක ම ඔන්න අම්මත් ඇවිල්ලා සුංගියි, අප්පච්චියි ළඟින් වාඩි වුණා.

"අම්මෙ... වචනවලිනුත් අපට වැරදි කරන්න පුළුවන් ද...? අප්පච්චි එහෙමත් කිව්වනෙ..."

ඒ පාර සුංගිගෙන් අම්මට ප්‍රශ්නයක්.

"පුළුවන්නෙ මැණික... අපි බොරුවක් කියල කාව හරි රැවැට්ටුවොත් ඒක වැරැද්දක්නෙ නේද...? අපි බොරු කියන්නෙ වචනවලින්නෙ..."

"ඔව්මයි..."

අම්මගෙ ඒ උත්තරෙන් ම සුංගි සෑහීමකට පත් වුණා.

"ඉතිං ගෙදර ම සිල් ගන්න පුළුවන් වෙලා ඇයි ආච්චි සිල්ගන්න කියල පන්සලට ම යන්නෙ...? මං නං අද ඉඳන් හැම දා ම සිල් ගන්නව ගෙදර ඉඳන් ම..."

"පන්සලට යන එකත් හොඳයිනෙ මැණික... හැම දා ම ගෙදර ඉන්න එකේ... අනික අපට පන්සලේ දි පුංචි ම වැරැද්දක්වත් කරන්න හිතෙන්නෑනෙ... සතෙක්ටවත් හයියෙන් කෑ ගහන්නෑනෙ කවුරුත්... ඉතිං සිල් රකින්න ලේසියි එතකොට..."

"හ්ම්ම්... ඉතිං ඇයි පෝයට ම යන්නෙ...? කට්ටිය හුඟාක් ඉද්දි මං නං ආස නෑ... වෙන දවසක යන්න පුළුවන්නෙ..."

"ඒක නං එහෙම තමයි දෝණි... ඒක ඉතිං අපි පුරුදු වෙලා තියෙන විදිහ..."

"ඒකනෙ... වැරදි පුරුදුත් තියෙන්න පුළුවන්නෙ..."

සුංගි ආයෙමත් කියන්නෙ සුංගිගෙ ම කල්පනා ලෝකෙ ඉඳන්.

"දෝණි දන්නව ද දෙයක්... පෝයට හුඟාක් ලොකුවට හඳ පායනව නේද...?"

"අම්මෝ ඔව්... ඊයෙත් පායල තිබ්බෙ... එහෙම හඳ පායනවට හරි ආසයිලු මගෙ යාළුවො... එයාල පිස්සුවෙන් වගේ සතුටින් ඉන්නෙ හඳ පායන දවස්වලට..."

"දෝණිගෙ යාළුවො කිව්වෙ...?"

"ලේන්නු එහෙම... කුරුලු යාළුවොත් එහෙමයි..."

"ආ... ආන්න හරි..."

අප්පච්චි එක පාරට ම එහෙම කිව්වහම සුංගි අප්පච්චි දිහා බලන්නෙ පුදුමෙකින් වගේ.

"ඇයි අප්පච්චි ආන්න හරි...?"

ඒ වතාවෙ නම් සුංගි විතරක් නෙමේ සුංගිගෙ අම්මත් අප්පච්චි දිහා බලාගෙන හිටියෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්.

"දෝණි කිව්ව නේද යාළුවො පිස්සුවෙන් වගේ සතුටින් ඉන්නෙ කියල...?"

"හ්ම්ම්... ඔව්... වෙනදට වඩා නැටිල්ල එයාලට ඒ දවස්වලට..."

සුංගි පරිසරයෙ වෙනස්කම්වලට ඇත්තට ම කොයි තරම් නම් සංවේදී ද කියල ලොකු පුදුමෙකුත් ඒ වෙලාවෙ අප්පච්චිගෙ හිතට එනව.

"එහෙම දෙයක් ඇත්තට ම තියෙනවලු දෝණි... හඳේ එළිය හුඟක් වැඩියිනෙ පෝය දවස්වලට... ඒ කිරණවලින්..., හැම සතෙක්ට ම හිතෙන දැනෙන විදිහට බලපෑමක් වෙනවලු ඒ කාලෙට... හරි කලබලයිලු හිත්... ඒකයි පිස්සුවෙන් වගේ දඟලන්නෙ... ඒක මිනිස්සුන්ටත් එහෙමයි... එක එක්කෙනාට අනුව ඒ බලපෑමෙ තරම වෙනස් වෙනව..."

අප්පච්චි එහෙම කිව්වෙ ඒක බරපතල කාරණාවක් වුණත්, සුංගි හිතන පතන විදිහත් එක්ක සමහරවිට සුංගිට ඒ කාරණාව තරමක් දුරට හරි තේරුම් ගන්න පුළුවන් වෙයි කියල හිතල.

"ඒක නං ඇත්ත ම වෙන්නැති අප්පච්චි... එයාලට විතරක් නෙමේ එහෙම හඳ දැක්කම මටත් පිස්සුවෙන් වගේ නටන්න හිතෙනව..."

"හ්ම්ම්..."

"ආ... මට දැන් තේරුණා..."

ඔය අතරෙ ආයෙමත් සුංගි කෑ ගහනව.

"මොකක්ද දෝණි තේරුණේ...?"

අප්පච්චිට කලින් අම්මගෙ හඬ ඉස්සර වුණා.

"පෝයට අපිට පිස්සුවෙන් වගේ කුලප්පු වෙලා නටන්න හිතෙනවනෙ... ඒ හින්ද තමා එහෙම දඟලල අපි අතිං වැරැද්දක් වෙයි කියල හිතල අපි සිල් ගන්න පෝයට ම පන්සල් යන්නෙ... අත්තම්මට ජොලියක් ගිහිං ගෙදර දි නැටුවත්... පන්සලේ ඔක්කොම ඉස්සරහ එහෙම නටන්න බෑනෙ..."

"අන්න දෝණිට තේරුණා..."

අප්පච්චි එහෙම කියල මහ හයියෙන් හිනා වෙන්නෙ සුංගිව තුරුළු කරගෙන හරි ආදරෙන් සුංගිට හාද්දකුත් දෙන ගමන්.

"ඒකයි තනියම නැතුව හුඟක් කට්ටිය එකතු වෙලා ම සිල් ගන්න යන්නෙත්... තනියෙං හිටියොත් හොරෙං හරි නටන්න හිතෙනවනෙ... නේද අප්පච්චි...? මදුරුවෙක් එහෙම කෑවොත් අනික් අය දකියි කියල ලැජ්ජාවට හරි එයාට ගහන්නැතුව ඉන්නවනෙ..."

සුංගිගෙ තේරුම් ගැනීමෙ ශක්තිය ගැන අප්පච්චිට පුදුම තරම් සතුටුයි. අම්මත් හරි ආදරෙන් කෙල්ලගෙ ඔළුව අතගානවා. ඒ දෙන්නගෙ ම ඇස්වල සුංගි වෙනුවෙන් උපන්න ආඩම්බරේක සේයාවකුත් හීනියට වගේ තැවරිල තියෙනව.

"හරියට ම හරි..."

"හ්ම්ම්... ඉතිං අප්පච්චි පන්සලේ දි විතරක් සිල් අරං ඉන්න අයත් ඉන්නවනෙ... එහෙම වැඩක් නෑනෙ..."

"වැඩක් නෑ තමයි දෝණි... අපි කොහොම හරි හැම දා ම සිල් රැකගෙන ඉන්න තමයි බලන්නෝන... එහෙම බැරි අයට පෝය දාට පන්සලට ගිහින් අඩු ම ගාණෙ එදාට හරි සිල් රැකගෙන ඉන්න පුළුවන් නං ඒකත් ලොකු දෙයක්නෙ..."

"හ්ම්ම්... කාට හරි අපි බැන්නොත් ඒකත් වචනෙන් වෙන වැරැද්දක් ද එතකොට...?"

"ඔව් දෝණි... අපි කාටවත් බනින්න කා එක්කවත් තරහ ගන්න හොඳ නෑ..."

"හ්ම්ම්..."

"ඇයි ඉතිං දෝණි එහෙම ඇහුවෙ...?"

කෙල්ල හේතුවක් නැතුව ප්‍රශ්නයක් අහන්නැති බව දන්න හින්ද ම අප්පච්චි සුංගිගෙන් අහනව.

"කාන්ති අත්තම්මා එදා සිල් අරං පන්සලේ ඉද්දිම කාට ද බැන්න නිලානි නැන්දට කියල... ඒකයි..."

"දෝණිටත් හරි ඒව තමයි ඇහෙන්නෙ... එහෙම අනුන්ගෙ කතාවලට ඇහුම්කන් දෙන්න හොඳ නෑනෙ දෝණි..."

අම්මගෙ කට හඬේ හීනියට වගේ තරවටු ස්වරයක් තැවරිල තිබ්බා.

"එයා හයියෙන්මයිනෙ බැන්නෙ... ඒකයි ඇහුණෙ... දවල් දානෙ පරිප්පුවට ලුණු මදි කියල උයපු අයට බැන්නෙ... පපඩමුත් පොඟලලු..."

"හ්ම්ම්... එහෙම කාටවත් බනින්න හොඳ නෑ මැණික... අනික අපි දානයක් දුන්නම රහ ගුණ හොයල බනින්න හොඳත් නෑ... දෝණිගෙ අත්තම්මා කවදාවත් එහෙම කියල බැනල නෑ නේද...?"

"නෑ... අත්තම්මා දානෙ දුන්න අයව මතක් කරල මටත් කියල ගෙදර ආවම ආයෙත් පිං දීල නං තියෙනව..."

"ආ... ආන්න එහෙම තමයි අපිත් පුරුදු වෙන්න ඕන... කවුරුත් ම හොඳ හිතින් දෙන දේක වැරැද්දක් දකින්න හොඳ නෑ..."

"හ්ම්ම්... ගිය පෝයට ඒ වුණාට නිම්මිලගෙ අත්තම්මා තමයි හොඳට ම සිල් රකින්න ඇත්තෙ.."

"ඒ මොකද දෝණි එහෙම කිව්වෙ...? දෝණි දැක්ක ද ඒ අත්තම්මව...?"

"හ්ම්ම්... අපි හවස පන්සල් යද්දිත් එයා නිදාගෙන හිටියෙ... එතකොට ඉතිං ඇඟෙං වැරදි වෙන්නෙත් නෑ වචනවලින් වැරදි වෙන්නෙත් නෑ... නිදිනෙ..."

"අයියෝ දෝණි...නිදාගෙන කොහොම ද සිල් රකින්නෙ...?"

අප්පච්චි ඇහුවෙ හැම දේ ම ගැන ගැඹුරට හිතන සුංගි ඒ වගේ කතාවක් කිව්වෙ ඇයි කියල හිතාගන්නත් බැරුව.

"මං දන්නව අනේ... අම්මයි, අප්පච්චියිත් දන්නව ද බලන්න කිව්වෙ..."

සුංගි කියන්නෙ හිනා වෙවී ම යි.

"නිදාගත්තම කොහෙද අනේ හොඳ සිහියක්... හොඳ සිහියක් නැතුව පුළුවනැයි ඇඟයි, කටයි පරිස්සං කර ගන්න... හයියෙං ගොරවන්න ගත්තොත් එහෙම නින්දෙං අනික් අයත් බය වෙලා දුවයි... නිම්මිලගෙ අත්තම්මා නින්දෙම්ම පයිං එහෙකුත් ගැහුව එදා ඊට එහා පැත්තෙ හිටපු අත්තම්මට..."

ආයෙමත් මුණගැහෙමු ❤️❤️

Comments

Popular posts from this blog

ගැහැණියක් නොකියපු කතාවක් කෙටි කතාව

හොරකම කෙටි කතාව

කුඩය කෙටිකතාව