සුංගි 3
"අප්පච්චිට ඇහෙනව ද...?"
සුංගි රහසින් වගේ අප්පච්චිගෙන් අහන්නෙ අප්පච්චි මිදුලට අඩිය තියද්දි ම යි.
"කෝ...? මොනව ද...?"
අප්පච්චිත් සුංගිගෙන් අහන්නෙ රහසින් ම යි.
"එයාල සිංදු කියන්න පටං අරන්..."
කළුවරේ වුණත් හරි ලස්සනට සුංගිගෙ ඇස් දෙක දිලිසෙනව අප්පච්චිට පේනවා.
"මට ඇහෙන්නෑනෙ දෝණි..."
"යමුකො අපි කොට්ටං ගහ යට බංකුවට... ගිහින් අහන් ඉමු... අප්පච්චිටත් ඇහෙයි එතකොට... හැබැයි සද්ද කරන්න බෑ..."
"හ්ම්ම්... යමුකො..."
සුංගිගෙ අප්පච්චිත් එහෙම කියාගෙන ම සුංගිත් එක්ක ගිහින් කොට්ටං ගහ යට බංකුවෙන් ඉඳගන්නවා.
"හ්ම්ම්... මට නං දැනට ම ඇහෙනවා... අප්පච්චිට තාම ඇහෙන්නෑ නේද...?"
"ම්ම්හු..."
අප්පච්චි සුංගි දිහා බලල කියන්නෙ යටි තොලත් පෙරළලා.
"හ්ම්ම්... එහෙනං... දැන්... ඇස් දෙක පියාගන්න... හරි ද...?"
කෙල්ල කියන්නෙ රහසින් වුණත් හරි හුරතල් හඬකින්.
"හ්ම්ම්... හරි..."
ඒ පාර සුංගිගෙ අප්පච්චිත් සුංගි කිව්ව විදිහට ම ඇස් දෙක පියාගන්නවා.
"ඒත් ඇහෙන්නෑ නේද?"
කෙල්ල අහන්නෙ හරි විශ්වාසවන්ත කට හඬකින්. ඒ කියන්නෙ කෙල්ලට හොඳට ම විශ්වාසයි තාමත් අප්පච්චිට කෙල්ල කියපු සින්දුව ඇහෙන්නෙ නෑ කියලා.
"හ්ම්ම්... ඇහෙන්නෑ..."
"අප්පච්චි වෙන වෙන දේවල් ගැනනෙ හිතන්නෙ... ඒකයි... ඔෆිස් එකේ වැඩ ගැන තමා හිත හිත ඇත්තෙ..."
සුංගි එහෙම කියද්දි අප්පච්චිගෙ හිතත් එක පාරට ම පොඩ්ඩක් ගැස්සිලා ගියා. ඇත්තට ම සුංගිගෙ අප්පච්චි ඇස් දෙක වහ ගත්තට එවෙලෙ හිත හිත හිටියෙ ඔෆිස් එකේ වැඩක් ගැන තමයි.
"දෝණි..."
අප්පච්චිටත් නොදැනි ම එහෙම කියවුණේ ඒ හින්දා.
"හ්ම්ම්... සින්දුව අහන්න ඕන නං ඉතිං ඒ ඔක්කොම අමතක කරන්න ඕන... මේ දැන් ම... බැයි නං ඉතිං අප්පච්චිට ඒ සින්දු අහන්න වෙන්නෑ..."
"හ්ම්ම්... ඉන්නකො එහෙනං මං ඔක්කොම අමතක කරන්න..."
"අන්න හොඳ අප්පච්චි... ඔෆිස් එක ගැන හිතුවට අප්පච්චිට දැන් එහෙ යන්න බෑනේ... ඉතිං අපරාදෙ සින්දුවත් අහන්නැතුව ඒ ගැන හිත හිතා ඉන්නෙක..."
සුංගි කිව්වත් වගේ ඔෆිස් එක ගැන දැන් මොනව කල්පනා කළත්, ඒ කොයි දේත් කරන්න වෙන්නෙ ඔෆිස් එකට ගියාට පස්සෙනෙ කියල අප්පච්චිත් ඒ අස්සෙ තනියම කල්පනා කරනවා.
"හරි... සුංගි ටීච කියන දෙයක් තමයි එහෙනං දැං ඉතිං..."
"හ්ම්ම්... එහෙනං දැං ඉතිං කයිය නවත්තල ඇස් දෙකත් ඔහොම්ම ම වහං හිතන්න මං මේ හුළඟයි ගසුයි කට්ටිය ම එකතු වෙලා කියන සින්දුව අහන්නයි යන්නෙ කියල... එහෙම හිතනකොට ඉබේ ම අප්පච්චිට ඇහෙයි..."
සුංගි කියන දේවල්, දෙන උපදෙස් ගැන අප්පච්චිටත් පුදුමයි. කොහොම වුණත් අප්පච්චිත් ඒ පාර අනික් හැම දේ ම අමතක කරල සුංගි කියපු විදිහට ම හිතන්න පටන් ගත්තා. තප්පරෙන් තප්පරේ ගෙවෙනකොට මෙච්චර වෙලා නෑහුණු හුඟාක් දේවල් අප්පච්චිටත් ඇහෙන්න පටන් ගන්නවා.
මහ කලබලයක් නැතුව හමාගෙන යන හුළඟෙ තියෙන්නෙත් හරි අපූරු රිද්මයක් කියල අප්පච්චිට හිතෙනව. ඒත් එක්ක ම ඒ අතරින් පතර ගස්වල කොළවලින් නැඟෙන ස්වරය අර හුළඟෙ රිද්මයත් එක්ක මුහු වෙලා මවන සංගීතයෙ තිබුණෙ හිතාගන්නවත් බැරි තරම් මිහිරක්. ඒ අතරට රැහැයියෙක්ගෙ, බස්සෙක්ගෙ හඬක් මුහු වෙද්දි ඒකෙත් තියෙන්නෙ හරි අපූරු සෞන්දර්යයක් කියලයි සුංගිගෙ අප්පච්චිට හිතෙන්නෙ. මෙච්චර කල් මේ සුන්දරත්වය, මිහිරියාව මඟ ඇරුණෙ කොහොම ද කියලත් ඒ අතරෙ සුංගිගෙ අප්පච්චි කල්පනා කරනවා.
හුළඟෙ වේගය, හමන රටාව වෙනස් වෙද්දි ගහ කොළත් තප්පරේට ඒ වෙනසත් එක්ක වෙනස් වෙනවා. ඒ හින්ද ම ගෙවෙන තප්පරයක් පාසා ඒ ඇහෙන සංගීතයෙ තිබ්බෙ අලුත් ම මිහිරක්. කොච්චර අහගෙන හිටියත් එපා වීමක් වගේ ම ඇති වීමකුත් නෑ. හිතට දැනෙන්නෙත් පුදුමාකාර සැනසීමක්. භාවනාවක් වගේ.
පාරෙ ඈතින් යන වාහනේක හඬ, රූපවාහිනියක හඬ වගේ හඬකින් ඇරෙන්න ඒ සංගීතයට වෙන කිසි ම බාධාවක් තිබ්බෙ නෑ. බල්ලෙක්ගෙ උඩු බිරුමක, පූසන්ගෙ පොර කෑමක, බස්සන්ගෙ හූමිටියක පවා තිබ්බෙ ඒ සංගීතයත් එක්ක හරි ලස්සන මුහු වීමක්.
"අප්පච්චි... ඇහුණ ද...?"
අප්පච්චි ආයෙමත් පියවි ලෝකෙට ආවෙ කන ගාවින් ම රහසින් වගේ ඇහුණු සුංගිගෙ කට හඬින්.
"හ්ම්ම්..."
අප්පච්චි තාමත් ඇස් පියා ගත්තු ගමන් ම යි.
"ලස්සනයි නේද...?"
"හ්ම්ම්..."
ඒ පාර අප්පච්චි ලොකූ හුස්මක් හෙළලා පපුව සැහැල්ලු කරන ගමන් හීන් සීරුවට ඇස් දෙකත් ඇරියා.
"අප්පච්චි මීට කලින් ඔය සින්දු අහල ම නැද්ද...?"
"නෑනෙ මැණික... මට ඇහිල ම නෑ..."
"හ්ම්ම්... ඇහෙන්නෙ නෑ ඉතිං... අහන්න ඕන... එයාලා දවසින් දවසට අලුත් අලුත් සින්දු කියන්නෙ... අම්ම ගෙට කතා කරන්නැත්තං මට නං උදේ වෙනකම් ම අහං ඉන්න පුළුවන්..."
"හ්ම්ම්... අපට ඉතිං රෑ එළි වෙනකල් එළියට වෙලා ඇහැරගෙන ඉන්න බෑනෙ දෝණි... නිදාගන්නත් ඕනනෙ..."
"හ්ම්ම්... මං ඇහුවා... රෑ වුණාම එයාලත් මාරුවෙන් මාරුවට නිදා ගන්නවලු... නැත්නං මහන්සියිලු... අපිත් රෑට නිදියන්න ඕන ම ද අප්පච්චි...?"
අප්පච්චිට ආයෙමත් සුංගිගෙන් ප්‍රශ්නයක්.
"හ්ම්ම්... ඔව්නෙ... නැත්තං අපටත් මහන්සියිනෙ... දවල් තිස්සෙ අපිත් එක එක වැඩ කර කර මහන්සි වෙනවනෙ දෝණි... ඉතිං අපේ අතට පයට ඇඟට ඔළුවට විවේකයක් ඕන... ඒ මහන්සිය නිවාගන්න පොඩි නිවාඩුවක්..."
"හ්ම්ම්... අපි නිදා ගත්තම එයාලට නිවාඩු..."
"අන්න හරි... එතකොට එයාල විවේක අරං ආයෙමත් හොඳට ඊළඟ දවසට ලෑස්ති වෙනව. එහෙම නැති වුණොත් අපට ඊළඟ දවසෙ හරි අමාරුවෙන් තමා හැම දේ ම කරගන්න වෙන්නෙ..."
"එහෙනං ඉතිං මටයි අත්තම්මටයි වඩා අම්මයි අප්පච්චියි තමයි වැඩියෙන් ම නිදාගන්න ඕන..."
"ඇයි ඒ...?"
"අම්මයි අප්පච්චියි හුඟක් මහන්සි වෙනවනේ..."
"ආ... ඒකයි... ඒකත් හරි... හැබැයි හුඟාක් ම නිදියන්නත් හොඳ නෑ... එතකොටත් අපට අමාරුයි... ඒ හින්දා අඩුවත් බෑ වැඩියත් බෑ..."
"හ්ම්ම්..."
ඒ පාර නම් අප්පච්චි පොඩ්ඩක් පුදුම වුණා සුංගි තවත් ප්‍රශ්නයක් අහපු නැති එක ගැන. අප්පච්චි හිතුවෙ ම වැඩියෙන් නිදාගන්න එක හොඳ නැත්තෙ ඇයි කියල සුංගි අහයි ම කියලා. ඒ හින්දා අන්තිමේ අප්පච්චි ම අනික් අතට ඒ ප්‍රශ්නෙ සුංගිගෙන් ඇහුවා.
"දෝණි දන්නව ද ඉතිං ඇයි වැඩියෙන් නිදාගන්න හොඳ නැත්තෙ ඇයි කියල...?"
"හ්ම්ම්..."
කෙල්ල වැඩි ගාණකට ගන්නෙ නැතුව අප්පච්චිට උත්තර දෙනවා.
"ඇයි...?"
"අප්පච්චි දන්නැද්ද...?"
"දන්නවා... දෝණිත් දන්නව ද බලන්න ඇහුවෙ..."
"හ්ම්ම්... මං බත් චුට්ටක් කාල නැවැත්තුවොත් අපේ අම්ම මට කොහොම හරි තව ටිකක් කවන්න හදනවනෙ..."
සුංගි බත් කන කතාවක් මෙතනට ඇදගත්තෙ මොකද කියල ඒ පාර අප්පච්චි තනියම කල්පනා කරනවා.
"ඔව් ඉතිං බාගෙට කාල හරියන්නෑනෙ දෝණි..."
"හ්ම්ම්... එතකොට ඇඟට පණ මදිලු. අම්ම කිව්වෙ... බාගෙට නිදාගත්තමත් එහෙම වෙන්නැති... අප්පච්චි කිව්වෙ ඊළඟ දවසෙ හරි අමාරුයි කියල..."
"ඔව්නෙ... ඉතිං...?"
අප්පච්චි හිනා වෙවී ම සුංගිගෙන් ඇහුවෙ සුංගිට තවත් මොනව හරි කියන්න තියෙනව කියල දැනුණු හින්දා.
"කෑව වැඩි වුණාම බුදිමත හැදෙනවනෙ... මට නං කෙළිං ඉන්නත් බෑ... වැනෙනවා. එතකොටත් වැඩක් කරන්න බෑනෙ... වැඩියෙන් නිදා ගත්තමත් එහෙම වෙන්නැති ඉතිං..."
කෙල්ල බත් කන කතාවක් ඇද ගත්තු හේතුව අප්පච්චිටත් තේරුම් ගියෙ එවෙලෙ. සුංගි දේවල් හරි ඉක්මනට, හරි ලස්සනට එයාගෙ ම විදිහකට තේරුම් ගන්න එක ගැන අප්පච්චිගෙ හිතටත් දැනුණෙ ලොකු සතුටක්.
"අපි යමු ද ගෙට...?"
"හ්ම්ම්... දැන් නිදියන්න ඕනනෙ... අපි යං... අප්පච්චියි අම්මයි උදේ ම නැඟිටින්නත් එපැයි... අප්පච්චි හෙටත් එනව නේද මාත්තෙක්ක සින්දු අහන්න..."
සුංගි අහන්නෙ ඉඳගෙන හිටපු බංකුවෙන් බිමට පනින ගමන්.
"හ්ම්ම්... අහමු..."
අප්පච්චිත් උත්තර දෙන්නෙ සුංගිත් එක්ක හැම දා ම රෑට කොට්ටං ගහ යට බංකුවට වෙලා සින්දු අහන්න හිතාගෙන ම යි. මුළු දවස ම වැඩ කරල ඇඟේ පතේ වගේ ම ඔළුවෙත් තිබුණ කෙඩෙත්තු ගතිය, මහන්සි ගතිය හැම දේ ම දෝණි අහන්න කියල දීපු සින්දුවෙන් පස්සෙ නැති වෙලා ගියා වගේ හැඟීමක් අප්පච්චිට දැනිල තිබුණෙ.
"අප්පච්චි... අද ඉස්කෝලෙ දි මගෙ යාළුවෙක් ඇහුව ඇයි රෑට කළුවර කියල..."
"ඉතිං... දෝණි මොකෝ කිව්වෙ යාළුවට...?"
"මං කිව්ව රෑට කළුවර නෑ කියල..."
"එහෙනං...?"
අප්පච්චි ඇහුවෙ සුංගිගෙ උත්තරේ පොඩි පටලැවිලි ගතියක් තිබ්බ හින්දා.
"එයා කියනව රෑට ඉර හැංගෙනවලු..."
"ඉතිං දෝණි මොකද කිව්වෙ යාළුවට...?"
"මං ඇහුව ඉර කොහෙද හැංගෙන්නෙ කියල..."
"ඉතිං එයා කිව්ව ද...?"
"මුහුද යටලු... මං ඇහුව ඉතිං කොහොම ද හැංගෙන්නෙ කියල..."
"ඉතින්...?"
"ඉතින් එයා කියනව වලක් කපං මුහුද යට හැංගෙනවලු... ආයෙ හාරගෙන උදේට උඩට එනවලු..."
කෙල්ල කියන කතා අහගෙන ඉද්දි අප්පච්චිට වෙලාව යනව තේරෙන්නෑ.
"මං ඉතිං ඇහුව හවස එක පැත්තකිං කපාගන්න වල හාරගෙන උදේට කොහොම ද වෙන පැත්තකින් උඩට එන්නෙ කියල..."
"ඒකත් ඇත්ත..."
අප්පච්චිට තනියම හිනා.
"ඊට පස්සෙ එයා මා එක්ක තරහ වෙලා යන්න ගියා... යද්දි මං එයාට කිව්ව රෑට කළුවර නෑ... කළුවර වෙලාවට අපි රෑ කියල නමක් දාගෙන කියල... මට නං රෑටත් කළුවර නෑ අප්පච්චි... දවල්ට වගේ ම පේනවා..."
"හ්ම්ම්..."
අප්පච්චි එහෙම කියල නැවතුණේ සුංගිට කියාගන්න වෙන දෙයක් ඔළුවට ආවෙ නැති හින්දා.
"අපේ ටීචත් දවසක් කිව්වා ඉර අපේ ලෝකෙට වඩා හුඟාක් ලොකුයි... අපට හිතාගන්නත් බැරි තරං කියල... ඉතිං එච්චර ලොකු ඉර කොහොම ද මුහුද යට හැංගෙන්නෙ..."
"ඒකනෙ දෝණි... යාළුවා ටීච කියන දේවල් හරියට අහගෙන ඉඳල නෑනෙ... ඉරට පොළොව යටවත්, මුහුද යටවත් හැංගෙන්න බෑ තමයි දෝණි... ඉර හුඟාක් ලොකුයි... තියෙන්නෙත් හුඟාක් ඈත..."
අප්පච්චිත් හරි පරිස්සමට වචන ගැට ගහල සුංගිට උත්තරයක් දුන්නා.
"ඒකනෙ අප්පච්චි... ටීච කිව්ව අපේ ලෝකෙ හරියට බෝලයක් වගේලු... ඉර ඊටත් වඩා ලොකු බෝලයක්ලු ගිනි ගන්න... ටීචනං කිව්වෙ පොඩි රබර් බෝලෙකුයි, අර පයින් ගගහ සෙල්ලං කරන ලොකු බෝලෙකුයි වගේ කියල. ඉතිං ඒක මෙහෙ හැංගෙන්න ආවොත් අපි ඔක්කොම ගිනි අරන් තමා නවතින්නෙ..."
කෙල්ලගෙ තේරුම් ගැනීමෙ හැකියාව ගැන අප්පච්චිට කියාගන්න බැරි විදිහෙ ආඩම්බරයක් දැනුණෙ. ආවට ගියාට නම් සුංගි කිසි ම දෙයක් පිළිගන්නෙ නෑ කියල අප්පච්චි කොහොමටත් දන්නවා.
"හ්ම්ම්... දැං අපි ගෙට යංකො මැණික... මං හෙට කියල දෙන්නංකො දෝණිට ඉරට මොකක්ද හවසට වෙන්නෙ කියල..."
එහෙම කියල අප්පච්චි ආයෙමත් සුංගියව වඩාගත්තෙ ගේ ඇතුළට යන්න හිතාගෙන.
"හ්ම්ම්... මාව චුට්ටක් බිමිං තියන්නකෝ..."
සුංගි එහෙම කියපු හින්දා අප්පච්චි ආයෙමත් කෙල්ලව බිමින් තිබ්බා. සුංගි එතන ම ඉඳන් හෙමීට රවුමක් ම කැරකිලා, අහස දිහාත් බලාගෙන ආයෙමත් රවුමක් කැරකිලා, ගෙට පිටුපාලා එහෙම ම හිටගෙන ඇස් දෙක පියාගෙන විනාඩියක් දෙකක් එක ම ඉරියව්වක හිටියා. එහෙම ඉඳල ඇස් දෙක ඇරල තමයි ආයෙමත් සුංගි අප්පච්චි දිහාවට හැරුණෙ.
"ඒ මොකක්ද කරේ දෝණි...?"
"සින්දු අහල නිකන් ම යන්න හොඳ නෑනෙ... මං එයාලට යන්නං කිව්වා... අප්පච්චිත් එයාලගෙ සින්දු අහන්න ආවට අද එයාලටත් හුඟක් සතුටුයි..."
"එයාල එහෙම කිව්ව ද දෝණිට...?"
"හ්ම්ම්... හෙටත් එන්න කිව්වා අපි දෙන්නට ම... එයාලගෙ සින්දුව අප්පච්චිටත් ඇහුණා කියල එයාල දන්නව..."
සුංගිට හිනාවකින් ම උත්තර දීල ඒ පාර අප්පච්චි දෝණිව වඩාගත්තා.
"යං..."
"හ්ම්ම්..."
සුංගිට ගහ කොළ සතා සීපාවා හුළඟ පවා දැනෙන විදිහ ගැන අප්පච්චිට හරි පුදුමයි. සුංගිට හුඟාක් ම සමීප නොවෙන්න මේ කිසි ම දෙයක් සුංගිගෙන් එළියට ගන්න අමාරුයි කියලත් අද අප්පච්චිට තේරුණා. ඒ එක්ක ම සුංගිව විශ්වාස කරනව කියන එක සුංගිට දැනෙන්න දැනෙන්න සුංගි වඩාත් විවෘතව හැම දේ ම කියනව කියලත් අප්පච්චි තේරුම් ගත්තා. මෙච්චර කාලෙකට මෙහෙම සුංගි ගහ කොළ එක්ක කතා බහ කරනව කියනෙක ගෙදර කවුරුවත් ම දැනගෙන හිටපු දෙයක් නෙමෙයි. හැබැයි අනික් ළමයින්ට වඩා මොකක්දෝ අමුත්තක් අම්මයි, අප්පච්චියි වගේ ම අත්තම්මත් සුංගිගෙන් දැක්කා.
"අප්පච්චි..."
සුංගි ආයෙමත් අප්පච්චිට කතා කරන්නෙ රහසින් වගේ.
"ම්ම්ම්... කියන්නකො දෝණි..."
"අප්පච්චියි මායි සින්දු ඇහුවා කියල අම්මට කියන්නෙපා ඈ..."
"ඇයි ඒ මැණික...?"
"අම්ම හිනා වුණොත් එහෙම..."
"අනේ... අම්මා දෝණිට හිනාවෙන්නෑනෙ මැණික එහෙම... ඇයි දෝණිට හිතුණෙ අම්මට ඒක කිව්වම හිනා වෙයි කියල...?"
"මං ඔය සින්දු ගැන ඉස්කෝලෙ දි ටීචට කිව්වා. ළමයි ඔක්කොමලා හිනා වුණා මට පිස්සු කියලා... ටීච නං හිනා වුණේ නෑ. ඒ වුණාට ඒ මට පෙනෙයි කියල... මට නොපෙන්නුවට ටීචත් හිතුවෙ මං බොරු කියනව කියල..."
"එහෙම නැතුවැති දෝණි..."
"නැත්තෙ නෑ... අපේ ටීච හිතන් ඉන්නෙ ටීච කියන දේවල් ම විතරයි ඇත්ත කියල... අපේ අම්මත් ටීච කෙනෙක්නෙ. ඉතිං අම්මත් එහෙම හිතයි..."
"ආ... ඒකයි මේ... අම්ම එහෙම නෑනෙ... දෝණි කියල බලන්නකො... නැත්තං අපි අම්මවත් එක්කං එමු හෙට සින්දු අහන්න..."
"ආහ්... අන්න ඒක නං ශෝක්... එතකොට අම්මට අහන්න ම වෙනවනෙ. බොරු කියල කියන්නත් බෑ... මට අපේ පන්තියෙ ළමයි ටිකයි ටීචවයිත් එක්කං එන්න විදිහක් නෑනෙ..."
"එයාල පිළිගන්න කැමති නෑනෙ දෝණි... ඒ හින්ද අපි එයාල ගැන දැනට නොහිතා ඉම්මු..."
"හ්ම්ම්... එයාලටනං එක විදිහකට ඕව අහගෙන ඉන්නත් බෑ තමයි... එයාලව මෙහෙ එක්කං ආවොත් මගෙ යාළුවො ටිකත් බය වෙයි... අපේ ටීච දන්නෙත් අර හැම දා ම කියන සින්දු ටික ම විතරයි... හිංචි පිංචි හාවොයි කිරි සුදු හාවොයි කියල ම එපා වෙලා මට නං දැන්... ඒකට මගෙ මේ යාළුවො දවසින් දවසට කියන්නෙ එක එක සින්දු... එතකොට අහන් ඉන්න එපා වෙන්නෙත් නෑ..."
"ටීචට ඉස්කෝලෙ දි හුඟාක් සින්දු කියල දෙන්න වෙලාවක් නෑනෙ දෝණි... ඉතිං ටීචට කියල දෙන්න කියල කියන සින්දු ටික තමා ටීච උගන්නන්නෙ. ඒකයි ඒ..."
"ආපෝ... කවුද දන්නෑ ඔය එක ම සින්දු ටික කියල දෙන්න කියල ටීචට කියපු එක්කෙනා... එයත් කවදාකවත් නං අද අපි ඇහුව වගේ සින්දු අහල නැතුවැති..."
සුංගි එහෙම කියද්දි අප්පච්චිත් හිත යටින් කල්පනා කළේ කෙල්ලට ඔය කියන තරමට ම ඒ කියන සින්දු අහල ඇති වෙලා ඇද්ද කියලා.
"කමක් නෑ දෝණි... දෝණිගෙ යාළුවො හැම දා ම අලුත් සින්දු කියනවනෙ දෝණිට... අපි ඒව අහමු...හෙට ඉඳං අම්මයි අත්තම්මයි අපි ඔක්කොම එක්ක අහමුකෝ..."
"අනේ... ශෝයි අප්පච්චි... අම්මට වෙලාවක් තියෙයි ද ඒත්...?"
"ඇයි එහෙම ඇහුවෙ දෝණි...?"
"අද මෙහෙම ආවට වෙනදට අප්පච්චිත් එක එක වැඩනෙ... අම්ම කුස්සියෙ වැඩ... අත්තම්මත් බණ අහනවා... මා එක්ක සින්දු අහන්න කවුරුත් නෑ රෑට... අම්මා කුස්සිය අස් කරනකං පිටිපස්සෙන් එළියට යන දොර ගාවට වෙලා ඉඳගෙන තමයි වෙනදට මං සින්දු අහන්නෙ..."
සුංගි ඒක කියපු විදිහට නම් අප්පච්චිටත් දුක හිතුණා.
"එළියටවත් යන්න තිබ්බ නං පාළු නෑ... ඈත ම ඉඳං කෑ ගහල කතා කරනවට එයාල ආස නෑ..."
"හ්ම්ම්... හෙට ඉඳන් කොහොම හරි වෙලාවක් හදාගෙන අපි ඔක්කොමලා ටික වෙලාවකට හරි සින්දු අහමුකො දෝණි... අත්තම්මටත් බණ අහනව වගේ ම ඊටත් වඩා හොඳ භාවනාවක් වෙයි ඒක..."
"හ්ම්ම්..."
කෙල්ල කට පුරෝලා හිනා වෙන්නෙ අප්පච්චිගෙ බෙල්ලත් බදාගෙන. සුංගිවත් ඒ වගේ ම උණුහුමට තුරුළු කරගෙන අප්පච්චිත් ආයෙමත් ගෙට ගොඩවෙන්නෙ, කෙල්ල දවසින් දවස ඇස් ඉස්සරහ ම පෙන්නල දෙන මෙච්චර කාලෙකට තමන්වත් නො දැකපු අපූරු ලෝකෙ ගැන හිතන සිතුවිල්ලෙ ම යි.
ආයෙමත් මුණගැහෙමු ❤️❤️

Comments
Post a Comment