ප්‍රේමය කෙටි කතාව


කෙටි කතාව...



          මොර සූරා වැටෙන වැසි දිය බිඳිති සුළං වැස්සේ අරුමය කියා පාමින් නිවස ඉදිරිකඩ පිළ මත හිඳගෙන පාර දෙසට නෙතු යොමා සිටින ඇගේ ගතේ හැපී විසිර ගියේ ඒ ගත ඒ තරමටම උණුසුම් නිසා ය. දංගෙඩි තරමටමත් වඩා විසල් වැසි දිය බිඳි පොළෝ තලයේ දුහුවිලි සමග මුසු විය. මදින් මද අඳුරට හැරෙන අහස කියා පෑවේ රාත්‍රිය අත ලඟ බවය. නිශාචර සතුන්ගේ හඬ හරඹයත් පටන් ගෙන ඇත. ඒ හඬට අමතරව ඇගේ හීල්ලුම් ස්වරය දසත විසිර විය. ඉදින් ඇය තවමත් මග බලමින්ය. දිනක් දෙදිනක් නොව, පනස් පස් වසක්ම ඇය මග බලමින් ය. ඔහු තවමත් නැත. ඇය ජීවත් වන්නේ එකම එක දෙයක් ඔස්සේ ය. එ තැනින් මෙපිට ලොවට පැමිණීමට ඇයට නොහැකි විය. වසර ගණනාවක්ම නොහැකි විය. ඉදිකටු තුඩු දස දහස් ගණනක් හදවත මත ඇනෙන වේදනාව, වැලි කැට දහසක් හදවත මත තබා අතුල්ලනා වේදනාව, දෙගුණයක්, තෙගුණයක්ව සෑම දිනකම ඇය විඳිමින් උන්නාය. සුවයකට ඇත්තේ අතීත මතකය පමණක් ය. ඒ දින හතලිහක අතීතයේ සුවඳ දශමයක් වුව නොමකා ඇය විඳිමින් උන්නාය. දියවී දිරාගිය චීත්ත කොනෙන් ඇය පිසලන කඳුළැලි මේ ගලන මහා වැහි දිය කඳ තරමටම විය යුතුය.


ඇය චීත්තයේ කොනක් සුරතට ගුලි කර ගත්තාය. මතකය දුර ඉගිලෙන්නේ මෙවන් මොහොතකදීය. කෑලි කැපිය හැකි පාළුව ඒ ඉගිලෙන මතකයේ තටු විය.


පබළු මැණිකේ මුහන්දිරම් වලව්වේ පොඩි කුමාරිහාමිය. දිසානායක මුහන්දිරම් ඇගේ අප්පච්චි, ගමටම ආරච්චි උන්නැහේ විය. ඔහු ගම් මුලාදෑනියා වී ගම්වාසීන් වහල් දාස දාසියන් කර ගෙන සිටියේය. ඔහු දුටුවත් හිස නමන බයාදු කම ගම්වාසීන්ට හුරු පුරුදුව ගොස්ය.


අමරසේන ඒ ගමේ එක්තරා දිළිඳු පවුලක එකම පුත්‍රයා වී පවුලේ නඩත්තුව කරට ගෙන කුඹල් කර්මාන්තයේ නිතර විය. ආරච්චි වලව්වට කඹුරන දෙමව්පියන් ඒ බරින් නිදහස් කර ගැනීම ඔහුගේ එකම පරමාර්ථය වූවද වලව්වට යන එන ඔහුගේ සිත සරල සුකුමාල පබළු මැණිකේට බැඳෙන්නේ කාටත් රහසින්ය.


මදක් විසල් ඇගේ දෑසේ දිගැටි දෑස් පිහාටු මොණරෙකු පිල් විහිදුවා සේ විය. ඉදෙන්නට මාන බලන ජම්බු ගෙඩියක පැහැය ගත්තේ දෙතොළ ය. ගලා හැලෙන දිය ඇල්ලක් බඳු මද කැරළි ඇගේ කේෂ කල්‍යාණීය මනරම්ය. ඔහුගේ සිත ගත්තේ ඒ සැමය.


වලව්වට යන එන උස හීන්දෑරි කොලු ගැටයාගේ පෙම්වත් බැල්ම නැවතුණේ පබළු මැණිකෙගේ හදවත පත්ලේය. වකුටු ගැසුණු කැරළි කෙස් නළල මතට වැටී තිබුණු අතර, මුහුණ මත යන්තමට වැවී ඇති රැවුළ් කොට ගෙන දුන්නේ වෙහෙසකර බවකි. දණට කැහිපොට ගැසූ සරම හැඳ උඩුකය නිරුවත්ව පෙළක් දිනයන්හීදී වලව් වත්තේ උදලු හරඹය කරනා ඔහු, පබළු මැණිකෙගේ සිත පතුලේ නිධන්ව උන්නේය.


විඳින්නට ඇති දුකේ අරුමය තදින්ම විඳ ඇති අමර, ජීවිතය ගැන අවබෝධයෙන් තේරුම් ගත්තද, සුමුදු සුකුමාල නාඹර වයසේ ගැටිස්සියක වූ  පබළු මැණිකේ පමණට වඩා දඟකාරී සිතක් ඒ වන විට උරුම කරගෙන සිටියාය.


අමර වලව් වත්තට පැමිණෙන මොහොතක් බලා පොතක්ද අතැතිව ඇය වලව් වත්තේ කරක් ගසන්නේ පොතට මුවා වී ඔහු දෙස පෙම් සිතින් බලන්නටය. දඟකාරියගේ නාඹර වැඩ දැනුණත් නොදැනුණා සේ සිටීමට අමරව පෙළඹවූයේ ඔහුගේ වහල් බවය. එහෙත් වැඩි කලක් දෙදෙනාටම තම සිත් තමන්ටම හොරා සඟවා තබන්නට නොහැකි විය.


ප්‍රේමය ප්‍රබල විය. වලව්වට හොරා ගං දිය අසබඩ දී එක් දිනෙක ඇය ලබා දුන් පෙම් බස ඔහුවද තව දුරටත් නිහඬ ප්‍රේමය උසුලන්නට නොහැකි තැනට පත් කළේය.


"මේ වලව්වට දාසකම් කරන මාත් එක්ක පෑහෙන්ට හදන්ට එපා පබළු මැණිකේ. පස්සෙන් පහු ඒක මහා වේදනාවක් වෙලා අහවර වේවි"


ගං දිය තැනින් තැන නඟන රැළි දෙස බලමින් ඔහු පවසන්නේය. ගල් තලාවේ බිම හිඳගෙන වැටී ඇති තුරු පතක හැඩ බලමින් සිටි ඇය එ තැනින් නැගිට ඔහු අසළට ගියාය.


"ආදරේට ඔය එක සීමාවක් වත් නෑ අමර. ඒක කිසිම හේතුවක් අදාළ නොකර හිතේ පූදින පර නොවෙන මලක්. ඒ මලේ සුවඳ සංසාරේ පුරා හමනවා අමර"


ඔහු ඇය දෙස නොබලාම තව දුරටත් රැළි නඟන ගං දිය දෙසම බලමින් පිළිතුරු දුන්නේය.


"ඔය කවිකාර වදන් සත්ත ජීවිතේට යා කරන්ට බෑ මයෙ මැණිකෙ. අනික මයෙ මැණිකෙ මතක තියාගන්ට කවමදාවත් පර නොවෙන මල් පූදින්නෙත් නැති වග. "


"ඒත් මම ආදරෙයි අමර. හරියට ගලේ කෙටුව අකුරක් වාගේ ඒ ආදරේ මගේ හදවතෙන් මැකෙන්නෙ නැති වගත් අමර මතක තියාගන්ට"


අමර ගොළු වන තැන එ තැනය. ප්‍රේමය එය අමරව ගොළු කරන හැඟීමය. කෙතරම් ඇයට පහදා දෙන්නට හැදුවත් තම සිතද අයැදින්නේ ඇගේ ප්‍රේමය බව දැනෙන මොහොතක ඔහු ඇයට පරාජය වී තම හදවත පුද දුන්නේය.


කවිකාර කම් පෙරමුණ ගන්නා, හදවතේ නෙක නෙක වර්ණ මල් පූදිනා, සමනලුන් හදවත් මල් යායේ සැරිසරනා, මිහිරි ගී නද නිතරම ඇසෙනා යෞවන කුළුදුල් ප්‍රේමයේ හැඩ ඔවුන් දෙදෙනාම විඳිමින් සිටියෝය.


"මේ හැබෑ කරගන්ට බැරි හීනයක් වුණත් මං ආදරෙයි මයෙ මැණිකෙ"


කලාතුරකින් ඔහුගෙන් ඇසෙන එවන් පෙම් ප්‍රකාශයන්ට ඇය මහත් සේ තුටු වුණද හදවත කොනක ඒ වදන්වල ඇති සත්‍යයට ඇය බිය වූවාය.

කෙසේ වූවද නාඹර වයස් තුළ කුළුඳුල් ප්‍රේමණීය හැඟුමන් ඉසිඹුවක් නොදී අනසක පැතිරුවේ ඔවුන් දෙදෙනාගේම හදවත් තුළය. සුමට ලපටි ප්‍රේමය බිඳෙන් බිඳ දළු ලා වැඩුණේ කනින් කොනින් ගම් සීමාවේ පෙළක් පිරිස් අතරද වැයමින්ය. ඒ වැයීම සැඩ සුළඟක් සේ වලව්ව කරා යාමටද එතරම් කාලයක් ගත වූයේ නැත. ගිනිකඳු පිපිරීම ආරම්භ වූයේ එවිටය. ආරච්චි උන්නැහේ සටන පටන් ගත්තේ එවිටය.


"ගමේ ඉන්න වහල්ලු එක්ක පෑහෙන්ට යන්නෙ නැතුව හිටපං පබළු. පස්සෙන් පහු මං නරක මිනිහයි කියන්ට එපා"


"අපිට වහල් කම් කොරන උඹ ආවද බොල අපිත් එක්ක පෑහෙන්ට. තෝ මගෙන් මැරුම් කන්ට එපා අමර"


මුලින්ම ආරච්චිගේ මුව විවර වූයේ තර්ජනාත්මක අවවාදයකටය. ඒ අවවාදය පබළු මැණිකෙත් අමරත් හිස නමා අසාගෙන සිටියත් එය හදවතට ස්පර්ශ නොවූවා විය යුතුය. යෞවන පෙම් අඹරේ උච්චත්වයේ සැරිසරමින් සිටි ඔවුන් දෙපළට ඒ අවවාදය ගඟට කැපූ ඉණි මෙන් විය. එතැනින් නොනැවතී පෙම් අඹරේ දසත ඉගිලෙන්නට ඔවුනට අවසර දුන්නේ යෞවනයය. හදවතය. ඉන් එපිට කිසිවක සංවේදනයක් ඒ කී හදවත් වලට නොදැනුණු බව සත්‍යය.


"අප්පච්චි මාව කෝටු මස් කරත් මං අමරව අමතක කරන්නෙ නෑ. මම සදහටම අමරගෙ විතරමයි"


දං කැළේ පෙදෙසක අමරට තුරුළු වී දොඩමළු වන ඇගේ හිස දැනෙන නොදැනෙන තරමින් සිඹින අමර නිහඬ බව රකින්නේ ලංවන්නට වත් නොහැකි මේ රාජ කුමරියගේ අයිතිය තමාට කිසිදිනෙක නොලැබෙන බව දන්නා නිසාය.


"අමරත් මාව අමතක කරන්නෙ නෑ නේද?"


"ඉංතේරුවෙන්ම මං දන්නෙ එකම දෙයයි මැණිකෙ. ඒ මේ පපුවෙ හුස්ම වැටෙන්නෙත් මයෙ මැණිකෙ නිසා කියලා විතරයි. මේ හිත කවදාවත් මයෙ මැණිකෙව අමතක කරන්නෙ නෑ"


ඒ රළු පපුවේ දහඩිය සුවඳ විඳිමින් ඇය ඒ වදන් වලින් අපමණ සතුටක් ලැබුවාය.


වලව් ගිනි කන්දේ පිපිරුම වර්ධනය වන්නට ගත්තේ නොබිඳිය හැකි අමරගෙත් පබළු මැණිකෙගෙත් ප්‍රේමය නිසාය. අවවාදයෙන් නොනැවතුණු පෙම් යුවළ හේතුවෙන් කිපුණු ආරච්චි උන්නැහේ පබළු මැණිකේ වලව් අඩස්සියෙහි රැකවල් ලා තැබුවේය.


කවිකාර වදනින් විකසිත වන සවන ද, පිවිතුරු අරලියා මලක් මෙන් වූ වතින් පිබිදුණු දෑස ද, ලං ලංව විඳි ඒ ප්‍රේමයෙන් කලඑළි වූ හදවත ද, ඉදින් ඇයව නොදැක අඳුරකින් වෙලාගත් බව අමරට දැනෙන්නට පටන්ගෙන තිබුණි. ඉවසීම මහත් සේ ප්‍රගුණ කරමින් කල් ගෙවුව ද, ඉවසීමට නොහැකි තැන තව තවත් ඉවසූව ද, ඉවසීමේ උච්චත්වය ස්පර්ශ කළ මොහොතක වහාම ඔහු පිපිරී ගියේය. ඒ පිපිරුම ඔහුව ගෙන ගොස් හැරලූයේ වලව්වේ මිදුල මැදය.


එක් අතකින් බස්තමින් පොළොවට අනිමින් ද තවත් අතකින් සුදු මහතැන්ලාගෙන් ලැබුණු දුම් පයිප්පය උරමින් ද වලව්ව ඉදිකඩට ආ ආරච්චි අමර දෙස හෙළුවේ විනිවිද යන බැල්මක්ය.


ආරච්චිගෙන් ලැබුණු කෝපය රුදුරු බවද මුසු නොහොබිනා වදන් කිහිපයකින් අනතුරුව අමරට ඉබි වැටී මෙන් වැසී ඇති මුව විවර කරගන්නට හැකිවිය. උගුර මුල ගුලි ගැසුණු ගොළු බව බිඳ ඔහු මුලින් වෙව්ලන ස්වරය නැගුවේය.


"ආ ආරච්චි උන්නාන්සෙ ම මං පබළු මැණිකෙට මනාපයි. එහෙම කියලා පබළු මැණිකෙව වලව්වෙ හිර කරගෙන ඉන්ට එපා අපෙ ආරච්චි උන්නාන්සෙ. ම මං පබළු මැණිකෙගෙන් ඈත් වෙලා ඉන්නම්"


එදා ආරච්චි හාමු කොපමණ කිපුණේද යත් අමර එ තැනින් පිටවූයේ හොඳ පදමට වලව්වෙන් ලැබුණු ගුටිබැට වලින් ගත තලාගෙනය. වලව්වේ තම කුටියට වී ගෙවූ ඒ මොහොත පබළු මැණිකෙට මහත් පීඩාකාරී විය. අමරගේ වත සිහියට නැගෙන මොහොතක් පාසාද, ඔහුට ලැබෙන පීඩාවන් හමුවේද, ඇගේ දෑසින් ගලාගිය කඳුළු අපමණ විය.


දින කිහිපයකට පසු අමර සමග ඇති සබඳතාව යළි නොපවත්වන බවට ආරච්චි දුන් කොන්දේසියට අනුගත වන බවට පබළු මැණිකෙගෙන් ලැබුණු වදන සමග ඇගේ වලව් අඩස්සිය නිමාවට පත්විය.

එහෙත් නාඹර වයස උපරිම සිටි ඇයට ඒ කොන්දේසිය පුස්සක් පමණක් විය. එතැන් පටන් යළිත් ඔවුන් සුපුරුදු පෙම් හරඹය ඇරඹුවෝය. පෙර මෙන්ම තුරු වැල් පාමුල තුරුළු වෙමින්ද කවිකාර වදනින් සැරසෙමින්ද දසත විසිරෙන පෙම් හසරැල් වලින්ද ඒ ලොව පිරී තිබුණි.


එහෙත් යළිත් ඒ පෙමට කනකොකා හැඬලීම පටන් ගත්තේත් අමරත් පබළු මැණිකේත් වලව්වෙන් ලැබුණු දරුණු අඩම්තේට්ටම් වලට මුහුණ දුන්නෙත් එකම කාලයේය. එයින් වඩාත් දරුණු සිද්ධීන් රැසකට මුහුණ දුන්නේ අමරය.


ප්‍රේමය අහිමි වීමේ ලකුණෙන් ලද වේදනාව අතැතිව සිටි අමරගේ මවත් පියාත් හදීසියේම මියගියේ ඔවුන්ගේ පැල් කොටය ගිනිගෙනය. ඒ රැයේ ගංදෑලේ සිරි නරඹමින් වේදනාව සමනය කරගන්නට උත්සහ කළ අමර ඒ අනතුරින් බේරී තිබුණත් සදාකාලික වේදනාවක් හදවත පත්ලේ ඉතිරි කර ඔහුගේ මවත් පියත් ඔහු හැරදමා ගොස් තිබුණි. ගම් පියස පුරා කුප්පි ලාම්පුව පෙරළි ඇතිවූ ගින්නකින් ඔවුන් දෙපළ මියගියත් එය ආරච්චි තමාට පාඩමක් කියාදීමට හෝ තම දියණියට පෙම් බැන්ඳාට කළ පලිගැනීමක් බව අමර දැන සිටියේය. එහෙත් ගම් මුලාදෑනි වූ ඔහුගෙන් නඩු අසා දිනන්නට නොහැකි බව දැන සිටි ඔහු පසුබැස්සේය.


කිසිවකින් පබළු මැණිකේගෙත් අමරගෙත් ප්‍රේමය බිඳින්නට නොහැකිවීම අමරගේ ජීවිතය නැසීම තෙක් ගෙන ගියද, ඒ සෑම තැනකින්ම ඒ කාලය තුළ ඔහු ගැලවුණේ පෙර පිනකට විය යුතුය.

අවසාන තුරුම්පුව ලෙස තම දියණියව කැප කරන්නට සිතූ ආරච්චි ඇගේ විවාහය සිදාදියේ සුදු මහතැන්ලාගේ වෙදකම හැදෑරූ කෙනෙකු සමග සිදුකිරීමට ගියේ ඇගේ දශමයක හෝ කැමැත්තකින් තොරවය.


එහෙත් ප්‍රේමයේ උස් අඹර සිඹි අමරගේ කන වැකුණු ඒ පුවත කිසිසේත්ම දරාගැනීමේ හැකියාවක් ඔහුට නොවීය. තම තුරුල්ලේ අනන්ත පෙම් සුව විඳි ඇය නොමැති ජීවිතයක් ගැන සිතීමට පවා ඔහු බිය විය. රැයවල් කිහිපයක් බොහෝ ඉසව් ඔස්සේ කල කල්පනා නිමග්නය අවසන් වූයේ හිතුවක්කාර ප්‍රේමවන්තයාගේ සිතට දැඩි තීරණයක් ගෙන දෙමින්ය.


එය කිසිසේත්ම පහසු නොවන තීරණයක් බව දැන දැනම ඔහු තම ප්‍රේමය සතු කරගැනීමේ අරමුණෙන් එක් රැයක වලව්වට හොරෙකු ලෙස රිංගුවේය.

වලව් වත්තේ වැඩ කල කාලයේ ජනෙල් කම්බි අතරින් තමා දෙස බලා සිටින පබළු මැණිකේ සිත මත සිත්තම් කරගනිමින්ම ඔහු ගොස් නැවතුණේ ඒ ජනේලය අසලය. යන්තමට දැල්වුණු ආලෝකය ඇය මැදියමෙත් අවදියෙන් වග ඔහුට දැනුම් දුන් නිමේෂයේ ඔහු ජනේලයට සෙමෙන් තට්ටු කළේය.


"මයෙ මැණිකේ"


තට්ටුවට විවර නොවූ ජනේලය ඒ ආදරණීය ආමන්ත්‍රණය හමුවේ විවර විය. පළමුව වදන් ගොළු වී ගලාගිය කඳුළු වලට හිමිකම් කී ඇයව සැනසීමට හෝ ඔහු කාලය අපතේ නොයවා සිටියේය.


"මගෙත් එක්ක යමු මයෙ මැණිකෙ. මං කොහොමද මයෙ මැණිකෙ නැතුව ඉන්නෙ. අපි පිට ගමකට යමු. වලව්වෙ සැප නැතත් මගේ ආදරේ මහමෙරක් තරම් තියෙනවා මයෙ හිතේ"


ඒ පිළිබඳව තර්ක කරන්නට හෝ හිතන්නට පවා දෙයක් නොමැති වග සනාථ කරමින් ඇය ඔහු සමග යන්නට තීරණය කළාය.


ඒ රැය හති දමමින් වලව්වට හොරෙන් සඳ පානේ පැන ගිය රැයක් විය. මල් කැකුළක්ව හැදුණු ඇගේ සුමට දෙපා රිදුම් දුන්නද එය නොපෙන්වා ගමනේ යෙදෙන තරමටම ඔහු අවැසි බවට ලොබ බැඳි සිත ගත් තීරණයට ඇය අනුගත වූවාය.


පසුදා උදෑසන වන විට ගම් නියම් ගම් පසුකර වෙනත් ගමකට යන්නට ඔවුනට අතරමගදි හමු වූ බක්කි කරත්තයද මහත් පිටිවහලක් විය.


එතැන් පටන් ඇරඹුනේ ඔවුන් දෙදෙනාගේම ජීවිත වල වසත් කලය. එය එසේ වූවත් පබළු මැණිකේට ඒ ජීවිතය තුළ දැනුණු දුෂ්කර බව නොදැනෙන තරමටම ඔහු දුන් ප්‍රේමය ප්‍රබල විය. අටවාගත් පැල් කොටයේ වැඩි වශයෙන් පිරී තිබුණේ ඒ ප්‍රේමය ය. දහඩිය සුවඳ විඳිමින් ඒ පපුව මත නිදන්නට ඇය මහත් සේ ප්‍රිය කළාය. ඒ ලොව තුළ වලව්වේ උද්ගතව ඇති තත්වය වත් ආරච්චි පිළිබඳව වත් මතකයක් ඔවුන්ට නොතිබිණි.


"මම ගමට ගොහින් බලලා එන්නද මැණිකේ"


ඉදින් ඔහු සමීපයේ ගෙවුණු දින හතලිහකට ආසන්න කාලයේදී ඇසුණු ඔහුගේ ඒ තීරණය එදා ඇගේ හදවතට ගෙන ආවේ අපමණ බියක්ය.


"ඒ මොකටද අමර. අප්පච්චිට අහුවුණොත් විසුමක් වෙන්නෙ නෑ"


"මම ගමට ගොහින් එහේ තත්වෙ බලලා එන්නම්. හැමදාම අපිට පිට ගමක ඉන්ට බෑනෙ. උපන් ගමට යන්ට එපැයි. මට මොකවත් වෙන්නෙ නෑ මයෙ මැණිකෙ. මං ගිය ආපිටම විගහට එනවා"


එදා ඇය කෙතරම් නොයන ලෙසට ඇවිටිලි කළද පලක් නොවූයෙන් ඇය නිහඬ වූවාය. එදා අහසම අඳුරු කළ දිනෙක ඔහු ඇගේ හිස සිඹ "පරිස්සමින් මයෙ මැණිකේ. මං ගොහින් ආපහු ඉක්මණින්ම එන්නම්" යැයි පවසා ඇයව නොපෙනී යන තුරුම පසුපස බල බලා සිනාසෙමින් ගිය අයුරු ඇය හදවත කොනක ගුලි කර ගත්තාය...


දින එක දෙක ගෙවී ගියේ හදගැස්මේ වේගයද රැයේ නින්දද ඇගෙන් අහිමි කරවමිනි. දෑස රිදෙන තුරු මග බලා සිටියත් ඔහු නොපැමිණියේ හදවතේ වේදනාවද බියද දෙගුණ තෙගුණ කරවමිනි. දසවන දිනයේත් ඔහුගේ නොපැමිණීමෙන් ඇය තම ගමට ඔහු සොයා යන්නට තීරණය කළාය. අන් දින වලට වඩා දැනෙන දැඩි වෙහෙස නොතකාද අප්පච්චි මුණ ගැසේවිද යන බිය නොතකාද ඒ ගමන යන්නට සිත ශක්තිමත් කළේ ඔහුව දකින්නට ඇති එකම පැතුමය. අවසන බොහෝ දෙනෙකුගෙන් මග අසා වෙහෙසකර බව මැදින්ම මග සොයාගෙන ඇය තම ගමට ගියාය. මුලින්ම අමරගේ ගිනිගත් පැල අසලට ගොස් ගං දෑල පුරාමත් ඔහුව සෙව්වත් ඒ පෙම්වත් බැල්ම දශමයකට හෝ මුණ නොගැසීම සිත පාරවද්දි ඇයට අමරගේ මිතුරෙකු මුණ ගැසුණි.


"පාල අයියණ්ඩි මගෙ අමරව දැක්කද"


පබළු මැණිකේ දැකීමෙන් පුදමයෙන් විසල් වූ දෑස සමග ඔහු මොහොතකට ගල් ගැසුණේය.


"දෙයි හාමුදුරුවනේ පබළු මැණිකෙ. අමරත් එක්ක මොන නස්පැත්තියක් කොරගන්නද පැනලා ගියේ. ඒකෙන් වුණේ ඒ අහිංසකයා අකාලෙ මැරිලා ගිය එක"


සවනින් හදවත හරහා කිඳා බැසි අවසන් වදන් පෙළ ඇයව එතැනම බිම ගැන්වීය. එය විශ්වාස නොකරන තම සිත දෑස හරහා පාල දෙස දැඩි බැල්මක් හෙළීය.


"ආරච්චි උන්නාන්සේ අමරව මරලා වැළලුවා කියලා ගමේ උන් කතා වෙනවා. ගමේ එකෙක් දැන් හත් දොහකට කලින් රාත්තිරියක ඒ සිද්ධිය ඇස් දෙකෙන්ම දැක්කයි කියනවා"


එහෙත් ඔහුගේත් ගම්මුන්ගේත් වදන් නොපිළිගන්නා සිත ඇයව වලව්ව කරා රැගෙන යන්නට විය.


"කෝ මගෙ අමර. කෝ මගෙ අමර අප්පච්චි"


"වලව්වෙ නම්බුව විනාස කොරලා වහල්ලුත් එක්ක ලැග්ග එකීට මං පිළිතුරු බඳින්නෙත් නෑ. ඒකිට මෙහෙ ඉඩකුත් නෑ"


එදා ආරච්චිගෙන් අසන්නට ලැබුණේ එපමණය. ඇය ආපසු හැරුණාය. ආ පයින්ම ගෑටුවේ දින හතලිහකට ආසන්න කාලයක් ඔහු තුරුළේ පෙම් සුව විඳි පැල් කොටයටය. ඒ වන විට කුස තුළට රිංගා සිටි ඔහුගේ ආදරයද දරාගෙන ඇය දෑස් අයාගෙන මග බලා සිටියේ ඔහු එනතුරුය. කඳුළු ගැලුවේ ඒ පෙම්වත් පිරිමි රුව නොදැක විනා ඔහු මෙලොව නොමැති බව ඇය කිසිසේත්ම විශ්වාස නොකළාය. දිනෙන් දින බලාපොරොත්තුවේ දෑස දල්වාගෙන පනස් පස් වසක්ම ඇය බලා සිටියාය.

කොළොම්පුරට ගොස් උගතෙකු වී විවාහයක්ද කරගෙන දරුවන් ලැබූ පුතණුවන් සමග හෝ නොගොස් එදා පෙම මතින් තැනූ අද නවීකරණය වූ නිවසේ සිමෙන්ති පිළ මත වැහි දිය සරසන යාමයේත් ඇය මග බලමින්ය.


"පරිස්සමින් මයෙ මැණිකේ. මං ගොහින් ආපහු ඉක්මණින්ම එන්නම්"  යැයි අවසන් වරට ඇසි ඒ පෙම්වත් හඬ තවමත් සවන් තුළ දෝංකාර දෙන්නේය. තමා දෙස බල බලා සිනාසෙමින් ගිය ඔහු පැවසූ ලෙස යළි පැමිණෙන තුරා ඇය දෑස් අයාගෙන තවමත් බලා සිටින්නීය. ජීවිත කාලය පුරාමත් බලා සිටින බවට සැකයක් නැත.


"අමර මම තාමත් ඔයා එනකම් ආදරෙන් බලාගෙන ඉන්නවා. අන්තිම හුස්ම වෙනකම්ම"


ඉදින් ප්‍රේමය එයම විය. හුදෙක් හැඟීමයකින් ඔබ්බට ගිය ආත්මීය සුවයක් විය.


නිමි.


ස්වප්නා නිලූෂි (සපූ) ❤️


©️සියළුම ආකාරයේ උපුටා ගැනීම් අනවසරයෙන් තහනම්...

Comments

Popular posts from this blog

ගැහැණියක් නොකියපු කතාවක් කෙටි කතාව

හොරකම කෙටි කතාව

කුඩය කෙටිකතාව